පිරිමි කුසලානය රවිඳු ලක්සිරිට – කාන්තා කුසලානය වනිත්මා සිනෙලිට

0
1

17 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සමග එක්ව 17 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය 2025 ඔක්තොම්බර් මස 17 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අතර තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන හා සහතික පත් ප්‍රදානෝත්සවය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ඉසව්වක් වන ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය සඳහා දේශීය මෙන්ම විදේශීය ස්කොෂ් ක්‍රීඩාවේ ඉහළම ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළු අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනකු පමණ සහභාගි වූ අතර මෙම තරගාවලිය වයස අවුරුදු 9 න් පහළ, අවුරුදු 11 න් පහළ, අවුරුදු 13න් පහළ, අවුරුදු 15න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 19න් පහළ යන වයස් ඛාණ්ඩ යටතේද පිරිමි සහ කාන්තා විවෘත, පිරිමි සහ කාන්තා ආධුනික අවුරුදු 35න් පහළ, අවුරුදු 40න් පහළ, අවුරුදු 45න් පහළ, සහ අවුරුදු 50න් ඉහළ, අවුරුදු 55 ඉහළ, 60 න් ඉහළ යන ඛාණ්ඩ යටතේ ද තරග ඉසව් පවත්වන ලදි.

සියලු දෙනාගේ අවදානය දිනාගත් තරග ඉසව්ව වන විවෘත ස්කොෂ් පිරිමි සහ කාන්තා අවසන් තරගය සඳහා පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් වන ශමිල් වකීල් හා රවිඳු ලක්සිරි තරග වැදුනු අතර එහිදී වට 3 ට 1ක් ලෙස ජයග්‍රහණය කරමින් එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් අනුස්මරණ කුසලානය රවිඳු ලක්සිරි ජයග්‍රහණය කරනු ලැබූ අතර කාන්තා අංශයේ අවසන් තරගය ශ්‍රී ලංකාව නියෝජනය කරන චනිත්මා සිනෙලි හා රන්ලියා වුඩ් අතර පැවති අතර එහිදී වට 3 ට 0 ක් ලෙස චනිත්මා සිනෙලි ජයග්‍රහණය කරමින් එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලානය දිනා ගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් සහභාගි විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here