කෝටි ගණනක දේපළක් කෙටි කාලයකදී උපයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා යැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලීගේ ලෝලියා ස්කින් සමාගම මගින් රට පුරා බෙදා හරින ක්‍රීම් වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා රහස් පොලිසියට නියෝග කළේය.
පියුමි හංසමාලි සිය පාරිභෝගිකයින්ට ලබාදෙන ක්‍රීම් වර්ග අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
පියුමි හංසමාලි අයථා වත්කම් උපයා ඇති බවට ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයට අදාළව විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කෙරිණි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සම සුදු කිරීම සඳහා ගල්වන ක්‍රීම් මිනිස් ශරීරයට හිතකර ද නැද්ද යන්න පිළිබඳව වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොළඹ පදිංචි පියුමි හංසමාලි බැංකු ගිණුම් 19ක් පවත්වාගෙන යෑම, හිටපු ජනපතිවරයකු භාවිතා කර විකුණා ගැනීමට නොහැකි වී තිබූ රුපියල් ලක්ෂ අටසීයකට (කෝටි 08ක) රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 6 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media