පියයුරු පිළිකා දැනුවත් කිරීමට – පාට පක්‍ෂ පසෙකලා මැතිසබේ රෝස පැහැ වෙයි

0
2

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහාය පළ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබාදීම ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ටද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබාදීම සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහාය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සහ අත් පළඳනා ලබාදීම සිදුවිය. එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ටද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි. වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණියහ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය කිරී‍මේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේද දිනකට නව රෝගීන් 15 ක් හඳුනාගන්නා බවත් ඉන් 3 දෙනෙකු මියයන බවත් මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍යවරියෝ සඳහන් කළහ. පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි බවත්, ඒ සඳහා වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමේ අවශ්‍යතාවයත් ඔවුහු පෙන්වා දුන්හ.

ඒ අනුව ඔක්තෝබර් මාසයට පමණක් සීමා නොවී මේ පිළිබඳව දැනුවත් වෙමින් මෙම සමාජ ව්‍යසනය තුරන් කිරීමේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයටද ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් වැඩසටහන් ආරම්භ කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම පාර්ලිමේන්තුවේ මෙම වැඩසටහනට සමගාමීව සියලු‍ම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලු‍ විදුහල්පතිවරු දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංසදය විසින් ලිඛිතව දැනුම්දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, විශේෂඥ වෛද්‍ය හසාරා ප්‍රනාන්දු, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here