ඡන්ද අයිතියත් අත්හිටුවයි
පෑලියගොඩ පිහිටි ලංකා ධීවර සංස්ථාවට අයත් තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කපන මේසයක් අනීතික ලෙස ලබාදී බාධාවකින් තොරව එය භාවිත කිරීම සඳහා ඉඩකඩ සැපයීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ එම වෙළෙඳ සංකීර්ණයේ පරිශ්‍ර කළමනාකරු ලෙස කටයුතු කළ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16දා) බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවම් නියම කළාය.
පළමුවන විත්තිකාර කළමනාකාරවරයා වෙනුවෙන් එකී අල්ලස භාරගෙන සිය භාරයේ තබාගෙන අල්ලස් ලබා ගැනීම සඳහා ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ තොග මත්ස්‍ය අලෙවි සංකීර්ණයේ ආරක්‍ෂක සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරියකු වන දෙවන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් ලබාදීමට ද විනිසුරුවරිය නියම කළාය.
එච්. වී. ජවින්ත ගිහාන් හා ජෝන් බාලසිංහ ක්ලිටර්ස් නමැති එම විත්තිකරුවන් දෙදෙනාටම රුපියල් 5000 බැගින් වූ දඩයක් ද නියම කළ විනිසුරුවරිය මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් සඳහා ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කිරීම, ඡන්ද භාවිත කිරීම මෙන්ම ඡන්ද අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීම නුසුදුස්සන් බවට ඔවුන් නම් කර එකී නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලෙසට ද නියෝග කළාය. එයට අමතරව පළමු වන විත්තිකරු ලබාගත් රුපියල් ලක්‍ෂයක අල්ලස අතිරේක දඩයක් ලෙස අයකර
ගැනීමට ද නියම කළ විනිසුරුවරිය එම අතිරේක දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද නියම කළාය.
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ලෙස කටයුතු කළ පළමුවන විත්තිකාර පරිශ්‍ර කළමනාකාරවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කළ දෙවන විත්තිකරු විනයගරුකව කටයුතු කළ යුතු එවැනි වැරදි සිදු නොකළ යුතු පුද්ගලයන් වුවත් වැරදි පිටුදැකීම වෙනුවට ඒවා සිදුකිරීම හා ආධාර අනුබල දීම ඉතා බරපතළ කරුණු බව විනිසුරුවරිය සිය තීන්දුව නිකුත්කරමින් පෙන්වා දුන්නාය.
පළමුවන විත්තිකාර සිය සේවාදායකයා 2004 වසරේ සිට 2010 දක්වා උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පවා සේවය කොට සම්මාන පදක්කම් හිමිකරගත් රාජ්‍ය ප්‍රසාදය දිනූ යුද හමුදා ලුතිනන්වරයකු ලෙසින් විශ්‍රාම ලැබූ අයකු බවත් 43 හැවිරිදි දෙදරු පියකු වන ඔහුට පෙර වැරදි හෝ පවත්නා නඩු නොමැත්තෙකු බවත් පෙන්වා දෙමින් විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණයෙන් ලිහිල් දඬුවම් ඉල්ලා සිටියේය. 53 හැවිරිදි දෙදරු පියකු වන සිය සේවාදායකයා ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලැබීම නිසා පොලිස් සේවයෙන් ඉවත්ව එකී ආරක්‍ෂක සේවයට එක්වී ඇති බවත් නිකළැල් සේවයකට හිමිකම් කියන පෙර වැරදි හෝ පවතින නඩු කිසිවක් නොමැති ඔහුටත් ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය සේවකයන්ගේ වගකීම වනුයේ මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් හා තමන් සේවය කරන ආයතනයේ උන්නතිය වෙනුවෙන් අවංකව කටයුතු කිරීම මිස සිය පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් අල්ලස් ලබා ගැනීම නොවන බවත් පළමුවන විත්තිකාර පරිශ්‍ර කළමනාකාරවරයා එකී අල්ලස් ඉල්ලා ඇත්තේ සිය මවුපියන්ව දඹදිව වන්දනාවට යැවීමට මුදල් අවශ්‍ය බව පෙන්වා දෙමින් බවත් අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය කියා සිටියාය.
2013.10.13 වැනිදා චන්ද්‍රසේන වික්‍රමසිංහ නමැත්තාගෙන් එකී අල්ලස් හා රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා සිටීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 18ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි. කෙසේ නමුත් තම අධිකරණය හමුවේ සනාථ වී ඇත්තේ 14 සහ 15 යන චෝදනා දෙක පමණක් බව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිගමනය කළ විනිසුරුවරිය සෙසු චෝදනාවලින් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමට ද නියෝග කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media