පාස්කු ඉදිරිදා මංගල්‍යය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කර ඇති පණිවිඩය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ,
“පාස්කු මංගල්‍යය යනු බලාපොරොත්තුව, නැවත නැඟී සිටීම සහ සමාජයක් ලෙස නව ආරම්භයක් පිළිබඳ ව අපට මතක් කරවන පූජනීය අවස්ථාවකි. මෙම ආශීර්වාදයෙන් පිරි දිනයේ දී, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මාගේ සුභාශිංසන පිරිනැමීමට ලැබීම සතුටට කරුණක් සේ සලකමි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා නැවත උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් විසින් පාස්කු මංගල්‍ය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක් වෙති.
නව බලාපොරොත්තු, අපේක්ෂා පෙරටු කර ගෙන පාස්කු මංගල්‍ය සැමරුවත් මීට වසර 7ට පෙර පාස්කු ඉරිදා දිනක අප රටේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් එල්ල කර ගෙන සිදු වූ මරාගෙන මැරෙන මිලේච්ඡ ප්‍රහාරයේ වේදනාබර මතකය අප හදවත් තුළ තවමත් ඉතිරිව පවතී. 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ විනාශකාරී මේ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ සමීපතමයන් අහිමි වූ අපේම රටේ අපේම ජනතාවට තවමත් යුක්තිය ඉටු කිරීමට පැවති මෙන්ම පවතින රජයට ද නොහැකි වීම රටක් ලෙස අප ලැබූ මහත් පරාජයක් සේ සලකමි.
පාස්කු ඉරිදා දින සිදු වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් විපතට පත් පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම සහ සත්‍යය හෙළි කිරීම යනු අපගේ රාජ්‍ය පද්ධතියට අයත් අත්‍යවශ්‍ය වගකීමක් සහ වගවීමක් වේ. මේ වගකීමෙන් සහ වගවීමෙන් අප කාටවත් නිදහස් විය නොහැක. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය, වගකීම සහ විනිවිදභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බව අප පසක් කර ගත යුතුය. මෙම කරුණු සම්බන්ධයෙන්, ආරම්භයේ සිටම දරන ස්ථාවරය වෙනස් නොවී, අද දින ද එයම පවත්වාගෙන යන බව අවධාරණය කරමි.
අපගේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා සියලු ජාති, ආගම් සහ ප්‍රජා එක්සත් කරමින්, විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම අප සැමගේ පොදු වගකීමකි. එමඟින් නැවත එවැනි විපතක් සිදු නොවන පරිදි ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම අප සැමගේම වගකීමකි.
මෙම පාස්කු දින, අපි වින්දිතයන්ගේ මතකයට ගෞරවය පළ කරමින්, යුක්තිය, සාමය සහ එකමුතුව සඳහා අපගේ කැපවෙමින් සත්‍ය අනාවරණය කර ගැනීමට සැවොම එකතු වෙමු.”
6
Saru News
















