පාතාලය හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරනවා

0
2

මහජන ආරක්ෂක ඇමැති

පාතාලය හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය.

තව දින 10 ක් 12 ක් තුළ එම ජාතික ව්‍යාපාරය ආරම්භ කරන බව ද පෙරේදා (27දා) මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව පැවැති උත්සවයකදී ඇමැතිවරයා පැවසීය. මෙම අවස්ථාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය අතර ඍජු සම්බන්ධයක් ඇති බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වීම හරහා රටේ දරුවන් එහි ගොදුරක් බවට පත්ව ඇති බවත් ඇමැතිවරයා කීය. බන්ධනාගාරවල සිටින අපරාධකරුවන් අතර සියයට 72 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් බවත් මෙම ප්‍රමාණය සියයට 100 ක් දක්වා වර්ධනය වුවහොත් සමාජය තුළ මහා ව්‍යසනයක් ඇති විය හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. ආර්ථික වශයෙන් රට කෙතරම් දියුණු වුව ද රටේ අනාගත පරපුර මෙම ව්‍යවසනයට ගොදුරු වී සිටී නම් රටක් ලෙස දියුණු වී ඵලක් නොමැති බව ද හෙතෙම පැවසීය.

පොලිසියට අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් සියයට 15 ක් 20 ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව ද ඒ හේතුවෙන් ජනවාරියේ සිට මේ දක්වා නිලධාරීන් 68 ක් වැඩතහනමට ලක්වී ඇති බව ද හෙතෙම කීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට දඬුවම් දීමෙන් පමණක් මෙම උවදුර මැඬපැවැත්විය නොහැකි බවත් ඒ සඳහා පුනරුත්ථාපනය හෝ ඔවුන් දැනුවත් කර මත්උවදුරෙන් ඔවුන් මුදා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඇමැතිවරයා පැවසීය.

ඒ සඳහා පළමුවෙන්ම මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමට හා මත්ද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කියා සිටියේය.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here