ලසාගේ මුල්ම අපරාධය ඇඟලුම් කම්හලක සේවිකාවන්ගේ බස් රථයක් කොල්ලකෑම
මිදිගම රුවන්ගෙන් බේරෙන්න නිතර නිතර පදිංචි ස්ථානත් මාරු කරලා
වැලිගම ප්‍රාදේශීය සභාව පසුගිය 22 වැනිදා බෙහෙවින් කාර්යබහුල වී තිබුණේය. ඒ එදින මහජන දිනය වූ නිසාය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හමුවීමට එදින සෑහෙන දෙනෙක් පැමිණ සිටියහ. ඔවුන් තම වාරය එන තුරු ප්‍රාදේශීය සභාවේ ආලින්දයේ අසුන්ගෙන සිටියෝය.
ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ‘මිදිගම ලසා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ සභාපතිවරයා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වුණේය. ඒ වැලිගම ප්‍රාදේශීය සභාවේ මහ පුටුව සම්බන්ධයෙන් පැවති අවුල් ගොඩක් නිසාය.
බදාදා මහජන දිනය වූ බැවින් ලසන්ත වික්‍රමසේකර එහෙමත් නැත්නම් මිදිගම ලසා වෙනදාටත් කලින් ප්‍රාදේශීය සභාව වෙත ආවේය. ලසන්ත වික්‍රමසේකර පසුගිය කාලය පුරාම ගත කළේ දැඩි භීතියකින් යුතුවය. එනිසාම ඔහු තමන් පදිංචි ස්ථාන පවා වෙනස් කරමින් විවිධ ආරක්ෂිත ස්ථානවල ගත කිරීමට කටයුතු කළේ කිසියම් අනතුරක සේයාවක් දැනී තිබූ නිසා විය යුතුය.
තම ජීවිතයට අනතුරක් සිදුවීමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස දන්වමින් ලසන්ත වික්‍රමසේකර පොලිස්පතිවරයාට ලිපියක් මාර්ගයෙන් දැන්වීමට ද කටයුතු කර තිබුණේ කල්තියාම ඔහුට දැනුණු අනතුරක සේයාව නිසා විය යුතුය.
ප්‍රාදේශීය සභාවේ සේවකයන් සමග බොහොම සුහඳව කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර කා අතරත් ජනප්‍රිය චරිතයක් වුණේය. පසුගිය බදාදා උදෑසන 10.30 පමණ වන විට ලසන්තගේ කාර්යාලය ඉදිරිපිට පුද්ගලයන් රැසක් රැඳී සිටියේ විවිධ අවශ්‍යතාවන්වලට ඔහු මුණගැසීම සඳහාය.
මේ පුද්ගලයන් අතර සිටි එක් අයකු කිසියම් නොයිවසිලිමත් බවකින් පසුවන බව කිසිවකුටත් තේරුම් ගොස් තිබුණේ නැත. සුදු පැහැති අත් දිග කමිසයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි මේ පුද්ගලයා කළු පැහැති මුව ආවරණයක් සහ උපැස් යුවලක් පැළඳ සිටියේය.
මුව ආවරණයෙන් සහ උපැස් යුවලෙන් මුහුණ ආවරණය කරගෙන සිටි නිසා මොහු කවුදැයි හඳුනා ගැනීම අපහසු විය. මොහු වම් අතේ ඇඟිලි පහම ප්ලාස්ටර් වලින් ආවරණය කරගෙන සිටියේය. මේ පුද්ගලයා ගැන කිසිවකුත් සැක පහළ කළේ නැත. රැඳී සිටි කීපදෙනකු සභාපතිවරයා මුණගැසීමට ගොස් ආපසු යන අයුරු බලා සිටි මේ පුද්ගලයා තම වාරය එනවාත් සමගම නැඟී සිටියේය. ඔහුගේ දකුණු අතේ ලිපි ගොනුවක් විය.
සභාපතිතුමාට කියලා ලියුමක් අත්සන් කරගන්න තියනවා. මේ පුද්ගලයා සභාවේ සේවකයකුට පවසා සභාපතිවරයාගේ කාමරය වෙත ඇතුළු වුණේය. ඒ වනවිට සභාපතිවරයා කිසියම් කටයුත්තක නිරතව සිටියේය. ඒ කාර්ය කරන අතරතුර ලසන්ත වික්‍රමසේකර තමන් හමුවට එන පුද්ගලයා දෙස බලා යන්තමින් සිනාසුණේය.
මාරයාගේ හෝරාව ක්‍රියාත්මක වුණේය. නාඳුනන පුද්ගලයා තමන් අත වූ ලිපිගොනුව අතරින් ඉවතට ගත් කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් ලසන්ත වික්‍රමසේකර වෙත එල්ල කළේය.
ඔහුට කරකියා ගන්න කිසිවක් ඉතිරිව තිබුණේ නැත. පිස්තෝලයෙන් පිට වූ උණ්ඩ 4ක් ලසන්තගේ හිස ගෙල සහ පපු ප්‍රදේශය විනිවිද යමින් ගමන් කර තිබුණේය. තත්පර ගණනකදී සිය ඉලක්කය සපුරාගත් කුලී ඝාතකයා කිසිවක් නොවූ අයුරින් සභාපතිවරයාගේ කාමරයෙන් පැන ගත්තේය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර සිය රාජකාරි අසුන තුළම මැරී වැටුණේය. සභාපතිතුමාට වෙඩි තිබ්බා…. සභාපතිතුමාට වෙඩි තිබ්බා… සභාවේ කාර්ය මණ්ඩලය හිස්ලූ ලූ අත දිවයන්නට වූහ. පිරිසක් ලසන්ත වික්‍රමසේකර ඔසවාගෙන රෝහල කරා රැගෙන යන්නට කටයුතු කළේ කෙසේ හෝ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණෙන්ය. එහෙත් ඒ වන විටත් ලසන්ත වික්‍රමසේකර මෙලොව හැර ගොස් තිබුණේය.
ලසන්ත ඝාතනය කළ කුලී මිනීමරුවන් දෙදෙනා යතුරුපැදියක නැඟී නිරුපද්‍රිතව පලා ගියෝය. ලසන්ත වික්‍රමසේකර ඝාතනය සැලවීමත් සමග මුළු රටම උණුසුම් වී ගියහ. ඒ වනවිට පාර්ලිමේන්තුව ද රැස්ව සිටියහ.
උණුසුම් වූ පාර්ලිමේන්තුව
ඝාතනය වී තිබුණේ සමගි ජනබලවේග පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඒ මොහොතේ පාර්ලිමේන්තු සැසියට එක්ව සිටි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බොහොම ආවේගශීලී කතාවක් කළේය. විපක්‍ෂයේ චෝදනාව එල්ල වී තිබුණේ මේ ඝාතනයට රජය වගකිව යුතු බවය.
එහෙත් එය තදින් ප්‍රතික්‍ෂේප කළ රජය මෙය පාතාල කල්ලියක ක්‍රියාවක් බව පැහැදිලි කළහ. මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා කියා සිටියේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවයි. මොහු අපරාධ ගණනාවකට සම්බන්ධ අයකු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් ඝාතනය කරන්නට ඇති බවටත් ඇමැතිවරයා කියා සිටියේය.
එහෙත් ගැටලුව වන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයා පාතාලයෙක් ද, දේශපාලනඥයෙක්ද, එහෙමත් නැත්නම් රටක් ආදරය කළ පුද්ගලයකු ද යන්න නොවේ. රටේ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වයයි.
මේ රටේ පුරවැසියකුට ආරක්‍ෂාවක් සහිතව ජීවත් වීමට සහතිකයක් නොලැබීම මොන තරම් බරපතළ තත්ත්වයක්ද? ඕනෑම පුරවැසියකුට ආරක්‍ෂාවක් ලබාදීම රජයේ මෙන්ම පොලිසියේ ද වගකීම වන්නේය.
ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර 38 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. වැලිගම මිදිගම ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ලසන්ත හොඳ අධ්‍යාපනයක් ද ලැබුවේය. එහෙත් තරුණ වයසේදී ඔහුට වැරදුණේය. ලසන්තට අකාලයේ මේ ආකාරයට ජීවිතය හැර යන්න සිදුවන්නේ ඔහුගේ නරක ඇසුර නිසාය. මිදිගම එකල ඒතරම් ප්‍රසිද්ධ නගරයක් නොවීය. එහෙත් වර්තමානය වන විට මිදිගම ප්‍රසිද්ධ නගරයක් බවට පත්ව තිබෙයි. ඒ පාතාල අපරාධකාරයන් නිසාය. මිදිගම අද වනවිට පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයන්ගේ නිජබිමක් බවට පත්ව හමාරය.
වර්තමානයේ සිටින පාතාල අපාරාධකාරයන්ගේ නම ඉදිරිපිටත් ඔහු උපන් ගමේ නම සඳහන් වෙයි. මේ ආකාරයට මිදිගම ගමේ නම සඳහන් පාතාල මැරයන් රැසකි. මිදිගම නඳුන් චින්තක හෙවත් හරක්කටා, මිදිගම චූටි, මිදිගම රුවන්, මිදිගම ලසා ඒ අතර ඉහළින්ම සිටින අපරාධකාරයන්ය.
හරක් කටාගේ ඇසුරට වැටුණු ලසා
ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙකි. :ෂඍක්) ‘මිදිගම ලසා’ දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයකු වන්නේ හරක්කටා ඇසුරු කිරීමට පටන් ගැනීමත් සමගය. ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා සිය අපරාධ චාරිකාව ආරම්භ කරන්නේ ඉකුත් 2008 වර්ෂයේදීය. හරක්කටා මෙන්ම මාකඳුරේ මදුෂ් සමග ද ඔහු සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණේය.
වැලිගම පොලිස් වසමේ මිදිගම යුනිචෙලා ඇඟලුම් කම්හලේ සේවිකාවන් රැගත් බස් රථයක් කොල්ල කෑම මිදිගම ලසාගේ මුල්ම බරපතළ ගණයේ අපරාධය විය. 2008 වර්ෂයේ ජූලි මස 04 වැනිදා යුනිචෙලා ඇඟලුම් කම්හලේ සේවිකාවන් රැගත් බස්රථය අතරමගදී නතර කළ මිදිගම ලසා ඇතුළු හරක්කටාගේ කල්ලියේ මැරයන් පිරිසක් අත්බෝම්බ ගිනි අවි සහ තියුණු ආයුධ පෙන්වා තරුණියන් භීතියට පත්කර ඔවුන් සතුව තිබූ රුපියල් 2,70,000/=ක් වටිනා රන් භාණ්ඩ, ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑහ. මේ සිද්ධිය සම්බන්ධයෙන් ලසා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කෙරිණි. මෙම කොල්ලයට අදාළ නඩුවත් මේ වනවිටත් මාතර මහාධිකරණයේ විභාග වෙමින් පවතියි.
මේ අතර ගාල්ල හබරාදූව සහ කුරුණෑගල ප්‍රදේශවලදී පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ද මිදිගම ලසාට එරෙහිව නඩු දෙකක් ගාල්ල සහ කුරුණෑගල අධිකරණවල විභාග වෙමින් තිබෙයි.
ඉකුත් 2018 වර්ෂයේදී මිදිගම ලසා පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්විය. ඒ ටී 56 ගිනි අවි උණ්ඩ සන්තකයේ තබාගෙන සිටීමේ වරදටය. මේ සම්බන්ධයෙන් ද මාතර අධිකරණයේ නඩුවක් විභාග වෙයි.
පසුගිය 2020 වර්ෂයේ මැයි මස 30 වැනිදා උදෑසන වැලිගම පොලිස් වසමේ මිරිස්ස ධීවර වරාය ප්‍රදේශය උණුසුම් වුණේය. ඒ අමිල ප්‍රසංග හෙවත් සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය කිරීමට පාතාල අපරාධකාරයන් දෙදෙනෙක් ගත් උත්සාහය නිසාය.
වැරදුණු කුරුමානම
පාතාල අපරාධකාරයන් දෙදෙනා සන්ෂයින් සුද්දාට පන්න පන්නා වෙඩි තැබුවද ඔහු දිවි ගලවා ගැනීමට සමත් වුණේය. මේ ප්‍රහාරය එල්ල වුණේ හරක්ටාගේ අවශ්‍යතාව මතය. සන්ෂයින් සුද්දා ඝාතන උත්සාහ සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම ලසාට බරපතළ චෝදනාවක් එල්ල වී තිබුණේය. මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මිදිගම ලසා අත්අඩංගුවට පත්වූ අතර මේ වන විටත් මාතර අධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතියි. සන්ෂයින් සුද්දා ඝාතන උත්සාහයේ මහමොළකරු ලෙස ක්‍රියාකර ඇත්තේ මිදිගම ලසා විසින් බවට චෝදනා එල්ල විය.
සන්ෂයින් සුද්දා මරා දැමීමට ගත් පළමු උත්සාහය ව්‍යර්ථ වුවද හරක්කටා තම අවශ්‍යතාව අතහැර දමා තිබුණේ නැත. ඔහු නැවතත් සන්ෂයින් සුද්දා ඝාතනයට දෙවැනි සැලසුම ද සකස් කළේ තම කල්ලියේ සාමාජිකයන්ගේ සහාය ලබාගෙනය. සන්ෂයින් සුද්දා මරා දැමීමේ දෙවැනි සැලසුමේ මහමොළකරු වූයේද මිදිගම ලසාය.
2021 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනිදා මාතර කොටවිල ප්‍රදේශයේදී සිය අනියම් බිරිඳගේ නිවසේ සිට වෑන් රථයක යමින් සිටි සන්ෂයින් සුද්දා ලුබුබැඳ ගිය පාතාල කුලී ඝාතකයන් ටී 56 අවියකින් ඔහුට වෙඩි තබා ඝාතනය කළහ.
සන්ෂයින් සුද්දා ඝාතනයේ විමර්ශන ආරම්භ විය. කුලී ඝාතකයන් අත්අඩංගුවට පත්විය. මේ ඝාතනය හරක්කටාගේ අවශ්‍යතාව මත මිදිගම ලසා විසින් මෙහෙයවූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණේය.
පොලිසිය මිදිගම ලසා අත්අඩංගුවට ගත්තේය. සන්ෂයින් සුද්දා මරා දැමීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මිදිගම ලසාට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතියි. මෙම ඝාතන සිද්ධිය විමර්ශනය කරනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ය.
මේ අතර පසුගිය ජනවාරි 04 වැනිදා වැලිගම ප්‍රදේශයේදී පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් වාර්තා විය. මේ ඝාතනය සම්බන්ධයෙන් ද මිදිගම ලසාට චෝදනා එල්ල වී තිබුණේය. එහෙත් ඒ සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීමක් කර නොතිබිණි.
මේ ආකාරයට අපරාධ ගොන්නක් කරපින්නාගත් මිදිගම ලසා පාතාල ලෝකයේ කෙලිකාරයකු වීමට උත්සාහ ගනිමින් සිටියේය. පාතාලයත් දේශපාලනයත් අතර පවතින්නේ ගසට පොත්ත මෙන් සම්බන්ධයක් බව සනාථ කරමින් ලසා දකුණේ දේශපාලනඥයන් කීපදෙනකු සමීපව ඇසුරු කළේය.
මාතර තරුණ දේශපාලනඥයකු ඒ අතර ඔහුට විශේෂ විය. මේ දේශපාලන ඇසුර ලසාගේ සිතට ගෙන ආවේ අමුතු හැඟීමකි. පාතාලයට වඩා දේශපාලනය හොඳ බව බොහෝ විට ඔහු සිතුවා විය යුතුය. තමන්ට සමීප දේශපාලනඥයන් දිගින් දිගටම කළ ඉල්ලීම් ගැන නිතර මෙනෙහි කළ ලසා දේශපාලනයට එන්නට තීරණය කළේය.
ලසා දේශපාලනයට
පසුගිය පළාත් පාලන මැතිවරණය ලසාගේ දේශපාලන දිවියේ මුල් අඩිතාලම වුණේය. සමගි ජනබලවේගය පක්‍ෂයෙන් ලසා තරග කිරීමට ඉදිරිපත් වුණේය.
එහෙත් අවස්ථා කීපයකදීම බුද්ධි අංශ මගින් අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබුණේ ලසාට එරෙහිව බරපතළ අපරාධ චෝදනා ඇති බවයි. එහෙත් ඒ කිසිවක් තඹ දොයිතුවකට මායිම් නොකළ දේශපාලන අධිකාරිය ළඟට සමගි ජනබලවේගය පක්ෂයෙන් වැලිගමට තරග කිරීමට අවස්ථාව ලබාදුන්නේය. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ දකුණේ තරුණ දේශපාලනඥයකු බව නොරහසකි. මැතිවරණය සඳහා හරක්කටාගෙන් ඔහුට ලැබුණේ නොමඳ සහායකි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය. මිදිගම ලසා පාතාල ලෝකයේ කෙරුම්කාරයකු බවත් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොන්නක් තිබෙන බවත් දැන දැන වැලිගම බුද්ධිමත් ජනතාව ඔහුට ප්‍රාදේශීය සභාවට යන්නට ජනවරමක් ලබා දුන්නේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී අර්බුද රාශියක් මතු වුණේය. වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත් වෙද්දී එහි බහුතර බලයක් හිමිවී තිබුණේ විපක්ෂය වෙතය. එවැනි පසුබිමක සිය පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙක් පැහැරගෙන ගිය බව කියමින් ජාතික ජනබලවේගය පක්ෂය චෝදනා එල්ල කිරීමත් සමගම ඡන්ද විමසීම කල්දැමීමට සිදුවිය.
මේ පැහැර ගැනීම සත්‍ය සිදුවීමක් නොව එය රඟපෑමක් බව ලසන්ත වික්‍රමසේකර ඇතුළු විපක්ෂය චෝදනා එල්ල කළෝය.
මිදිගම රුවන් ඇතුළු පාතාල මැරයන් කීපදෙනකුම ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වීම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගෙන සිටියෝය. ඒ සඳහා ඔවුන් නොයෙකුත් උපක්‍රම භාවිත කළහ.
ජාතික ජනබලවේග පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට නාඳුනනා පාතාල සාමාජිකයන් දෙදෙනෙක් වෙඩි තබන්නේ මේ අතරතුර දීය. මේ වෙඩි තැබීමෙන් ප්‍රාදේශීය සභාව පමණක් නොව මුළු වැලිගමම උණුසුම් වුණේය. මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ලසන්ත වික්‍රමසේකරගේ පාර්ශ්වය වෙතය.
ඒ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ජාතික ජනබලවේගය පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත්ව සිටියේ නීතිඥ තාරක නානායක්කාර මහතාය.
එහෙත් පොලිසිය විසින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මේ ප්‍රහාරය මිදිගම රුවන්ගේ නියෝග මත ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් සිදුකළ බවයි.
තවදුරටත් සිදුකළ පරීක්ෂණවලින් පොලිසිය හෙළි කරගත්තේ මිදිගම රුවන්ට අවශ්‍ය වී තිබුණේ ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභපති වීම වැළැක්වීම බවය. තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තබා එහි වගකීම ලසන්ත වික්‍රමසේකර වෙත පටවා ඔහු පොලිසියට අල්ලා දීම මිදිගම රුවන්ගේ සැලසුම වී තිබුණේය. එහෙත් පොලිසිය ඒ සියලු සැලසුම් හෙළිකර ගැනීමත් සමගම මේ වෙඩි තැබීමට ලසන්ත වික්‍රමසේකර වෙත එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් වුණේය.
මේ අර්බුදකාරී පසුබිම අතරේ වැලිගම ප්‍රාදේශීය සභාවේ පළමු රැස්වීම පැවැත්විණි. එහිදී සිදුකළ ඡන්ද විමසීමෙන් ඡන්ද 23ක් ලබාගෙන ලසන්ත වික්‍රමසේකර සභාපති ධුරයට පත් වුණේය.
මේ ප්‍රශ්නකාරී වාතාවරණය මැද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වූ ලසන්ත වික්‍රමසේකර සිය රාජකාරි ආරම්භ කළේය. පාතාල ක්‍රියාකාරකම්වලින් මිදී යහපත් පුරවැසියකු ලෙස අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ලසන්ත වික්‍රමසේකර උත්සාහ කළේය. එහෙත් පරණ පවු රියසක මෙන් ඔහු පසුපස එන්නට පටන් ගත්තේය.
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමත් සමගම ඔහු විසින් මෙහෙයවූ පාතාල කල්ලිය ද කැඩී බිඳී යන්නට විය. හරක් කටාගේ කල්ලියේ සමීපතමයන් වූ මිදගම චූටි සහ මිදිගම රුවන් වෙන වෙනම පාතාල කල්ලි බිහි කරගත්තේ තනිවම පාතාල කිරුළ දිනා ගැනීමේ සටනට එක් වෙමින්ය. හරක් කටා සමග සමීපව සිටි මිදිගම ලසා ද ඒ වනවිට පාතාල ක්‍රියාකාරකම් අතහැර දේශපාලනයට එක්වී සිටීමෙන් මිදිගම ලසා තම පැරණි මිතුරන් වූ මිදිගම රුවන් සහ මිදිගම චූටි අතර තිබූ සබඳතා නතර කළේ නැත. ඔවුන් දෙදෙනාටම ඔහු පෙර පුරුදු ලෙස ඇසුරු කළේය. එහෙත් මිදිගම ලසාගේ ක්‍රියා කලාපය ගැන මිදිගම රුවන් මෙන්ම මිදිගම චූටි ද අනුමත කළේ නැත.
ලසා ඩබල් ගේම් කාරයෙක් ඌත් එක්ක ගනු දෙනු තියාගෙන වැඩක් නැහැ.
මිදිගම රුවන් මිදිගම ලසා සමග තිබූ සියලු සබඳතා නතර කර දැමුවේය. මිදිගම ලසා යහපත් පුද්ගලයකු වීමට උත්සාහ ගනිද්දී ඔහු සමග සිටි අපරාධකාරයන් සියලු දෙනා විරසක වන්නට පටන්ගත්තේය.
මීට මාස කීපයකට උඩදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මිදිගම ප්‍රදේශයේදී යුවළක් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවි 4ක් ඇතුළු තවත් ආයුධ කීපයක් ද සොයා ගත්හ.
අත්අඩංගුවට ගත් මේ යුවළ මිදිගම රුවන්ගේ පාතාල කල්ලියේ සමීපතමයන් වූහ. මේ අවි ආයුධ මිදිගම රුවන්ගේ පාර්ශ්වයේ සාමාජිකයකු විසින් තමන්ට ලබා දුන් බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර තිබුණේය. මේ අවි ආයුධ සමග තම කල්ලියේ සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුව ලබාදුන්නේ මිදිගම ලසා විසින් බවට මිදිගම රුවන් සැක පහළ කරගෙන සිටියේය.
අත්අඩංගුවට පත්වූ කාන්තාව නිතරම මිදිගම රුවන්ට ‘විසිට්’ දැමීමට බූස්ස බන්ධනාගාරය වෙත එන කාන්තාවකි. ඇය විශේෂ කාර්ය බළකාය වෙත අල්ලාදීමට ඔත්තුව ලබාදුන්නේ ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා විසින් බවට ඇතිවූ සැකය මිදිගම රුවන් ඔහු කෙරෙහි පැවති වෛරය දෙගුණ තෙගුණ කරවීමට සමත් විය.
සිය වෛරය පිරිමසා ගැනීමට මිදිගම රුවන් ලසන්ත වික්‍රමසේකර මරා දැමීමට උත්සාහ ගත්තේය. ඒ සඳහා මිදිගම රුවන් සිය පාතාල කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙක් ‘ලසා’ ගැන ඔත්තු බැලීමට යොදා තිබුණේය.
මේ ඔත්තුකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු පැමිණි අය වූහ. ලසන්ත වික්‍රමසේකරගේ ගමන් බිමන් පිළිබඳව සොයා බලා තොරතුරු ලබාදීමට මොවුන් දෙදෙනා යොදා සිටියේය. මේ ඔත්තුකරුවන් දෙදෙනාට මෙහෙයවූයේ මිදිගම රුවන් බව පොලිසිය හෙළිකරගෙන තිබුණේය. තම ජීවිතයට කොයි මොහොතක හෝ අනතුරක් සිදුවීමට ඉඩ ඇති බවට ලසා නිතරම සැක පහළ කළේය. ඒ නිසාම ඔහු තම ආරක්ෂාව සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන්නට පටන් ගත්තේය.
කොටින්ම ඔහු ජීවත් වුණේ දැඩි භීතියකින් යුතුවය. තමන්ට එල්ලවී තිබෙන මරණ තර්ජන හමුවේ තමන්ට ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමසේකර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියකින් දැනුම් දුන්නේය. ඒ ඉකුත් අගෝස්තු මාසයේදීය. ලසන්ත වික්‍රමසේකර පොලිස්පතිවරයාට යැවූ ලිපියේ මෙසේ සඳහන් වුණේය.
මා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ආසන්න කාල සීමාවේ සිට මාහට විවිධ පාර්ශ්වයන් ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේදී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට තර්ජන එල්ල විය.
ඊට අමතරව විවිධ පාර්ශ්වයන් සමාජ මාධ්‍ය හරහා ද මාහට තර්ජන එල්ල කරමින් සිටියි. මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවේ මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මාහට විශ්වාසයක් පවතියි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මාහට තර්ජනයකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට තොරතුරු ලැබී තිබෙයි. මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර මුහුණු පොත හරහා තර්ජනයක් කර ඇත. මේ සියලු තත්ත්වයන් හේතුවෙන් තම ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇත. මේ තර්ජන ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින් මාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.
ලසන්ත වික්‍රමසේකර පොලිස්පතිවරයාට යැවූ ලිපියේ එසේ සඳහන් වුණේය. ඊට අමතරව දිවුරුම් ප්‍රකාශයක් හරහා ද ඔහු තමන්ට ජීවිත තර්ජන එල්ල කරන පාතාල අපරාධකරුවන් කීපදෙනෙක් ගැන තොරතුරු සඳහන් කර තිබුණේය. ඒ අතර රොටුඹෙ අමිල, කංචිපානි, ඉම්රාන් සහ කෙහෙල්බද්දර පද්මේ ද සිටින බව ලසන්ත වික්‍රමසේකර සඳහන් කර තිබුණේය. පොලිස්පතිවරයාට මේ බව දැනුම් දීමෙන් පමණක් සෑහීමට පත් නොවූ මිදිගම ලසා තම ආරක්ෂාව තමන්ට සලසා ගැනීමට අවධානය යොමු කළේය. තම ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් දහ පහළොස් දෙනෙක් ළඟ තබා ගන්නට ඔහු කටයුතු කළේය. කොයි මොහොතක හෝ තමන් වෙත එල්ලවීමට ඇති ජීවිත තර්ජනවලින් බේරීම සඳහාය.
එමෙන්ම තමන් පදිංචි ස්ථානය පවා නිතර මාරු කරමින් ආරක්ෂිත ස්ථාන වෙත යෑමට ද මිදිගම ලසා පුරුදුව සිටියේය. ඔහු බොහෝ අවස්ථාවල වැලිගම ප්‍රාදේශීය සභාවට ආවේ ද විවිධ ආරක්ෂිත ස්ථානවල සිටය.
එහෙත් මාරයාගෙන් ඔහුට ගැලවීමක් තිබුණේ නැත. තමන් ඇසුරු කළ පාතාල මැරයන් ම කිසියම් දිනක තම ජීවිතය තීන්දු කරනු ඇතැයි ඔහු මොහොතකටවත් නොසිතුවා විය යුතුය. ලසා ඝාතනය වන අවස්ථාවේ ඔහු පිරිවරාගෙන සිටි ආරක්ෂකයන් කිසිවකුත් සිට නැත.
එමෙන්ම මිදිගම ලසා වෙඩි වැදීමෙන් පසු ඔහු සිය කැබ් රථයට නංවාගත් අවස්ථාවේ එම රථය ක්ෂණිකව රැගෙන නොගොස් ටික වේලාවක් නතර කරගෙන සිටියේ ඇයිද යන්න පිළිබඳව ද පොලිසියේ අවධානය යොමු වී තිබෙයි.
ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය පාර්ලිමේන්තුව උණුසුම් කරවීමට සමත් විය. ලසා ඝාතනයට පසු දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිය විරෝධය ප්‍රකාශ කළහ.
‘ලසා’ ඝාතනය පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සිය දැඩි අවධානය මෙන්ම අධීක්ෂණය ද යොමු කර සිටියි.
‘මිදිගම ලසා’ මරා දැමූ පාතාල මැරයන් වැඩි දවසක් ගත වන්නට පෙර අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා දැඩි ලෙස අවධාරණය කර සිටියි.
එමෙන් ම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ ඝාතන සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියි.
ලසා ඝාතනයෙන් පසු මුළු දකුණු පළාතම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස්පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් දිවා රෑ නොබලා සිය විමර්ශන ක්‍රියාත්මක කර සිටිති.
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා අද ජීවතුන් අතර නැත. පාතාලයේ මොනතරම් සෙල්ලම් දැමුවත් කිසියම් දිනක එය පාරා වළල්ලක් වනු නියතය.
පාතාලයට පෙම් බැඳි මිදිගම ලසා අවසානයේ පාතාලයෙන්ම මැරුම් කෑවේය.
හේමන්ත රන්දුණු
Saru FM Media











