ඔබ පාඩම් කරන වයසෙ දුවෙක් හෝ පුතෙක් ඉන්න අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගන්න ඔබ පාඩම් කරන කාමරය සූදානම් කරගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපේ අද සූදානම.
මුලින්ම දරුවාගෙ පාඩම් කාමරය ලෙස නිවසේ කතාබහ, රූපවාහියේ හඬ සහ විවිධ බාධාවෙන ශබ්දවල් වලින් බාධා නොවෙන කාමරයක් තෝරගන්න ඔබ හොඳින් වඟබලා ගන්න ඕන.
දරුවගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න පිටතින් විවෘත කරන්න පුළුවන් දොරක් හෝ තිර රෙද්දක් ජනෙල් වලට හා දොරවල් වලට යෙදීම අත්‍යාවශ්‍යයි.
දොර අඟුල් නොදමන ලෙස ඔබ දරුවාට දැනුම් දෙන්න සහ කාමරයට ඇතුළුවෙන විට දරුවාගේ නම කතා කරන්න හෝ තට්ටු කරන්න ඔබට පුළුවන්.
බොහෝවිට දරුවො කැමති විවිධ වර්ණ තිබෙන්න පුළුවන් වුනත් පාඩම් කාමරයේ බිත්ති සඳහා ඔබ දීප්තිමත් සහ ළා වර්ණ තෝරාගැනීම නම් අනිවාර්‍යයි.
එය දරුවාගේ සිත එක අරමුණක තබා ගන්න වගේම හිතේ කලබල බව අඩුකරන්නත් හේතු වෙනවා.
සුදු, ක්‍රීම් පාට, ළා කොළ වගේ වර්ණ මේ සඳහා හොඳින් ගැළපෙනවා.
දරුවා කැමති පාටක් බිත්ති සැරසිලි, තිර රෙදි හෝ ඇඳ රෙදි සඳහා මිශ්‍රකරන්න පුළුවන්.
පාඩම් කිරීමේදී නිවැරදි ඉරියව් පවත්වාගෙන යා හැකි මේසයක් සහ පුටුවක් තැබීම නම් අනිවාර්‍යයි.
ඇඳේ හෝ සෝෆා වල වාඩිවී පාඩම් කිරීම නිසා අවධානය වෙනස් වෙනව වගේම නිවැරදි ඉරියව් පවත්වා නොගැනීම නිසා ඇතිවෙන විවිධ කැක්කුම්, වේදනා සහ අස්ථි හා සන්ධි ආශ්‍රිත ගැටළුත් මේ දිනවල දරුවන් අතර සුලභ ලෙස දකින්න පුළුවන්.
දරුවා පාඩම් කරන මේසයට හෝ කාමරයට ස්වභාවික ආලෝකය සහ සුළං හැකිතරම් ඇතුළු වෙන්න ඉඩ සළස්වන්න ඔබට පුළුවන් නම් එය දරුවාගෙ ඇස් වලට වගේම මානසික පීඩනය අඩු කරන්නත් ඍජුවම බලපෑම් කරන්න සමත් වෙන කාරණාවක්.
ඒ වගේම ජනෙල් වලට එළියෙන් වැඩි කරදරයක් නැතුව මල් පිපෙන පුංචි පැළයක් හෝ සුළං සමඟ ශබ්ද නඟන සැරසිල්ලක් එල්ලන්නත් ඔබට පුළුවන්.
අද වෙද්දී බොහෝ දරුවො කුඩා කාලයේ ඉඳන්ම කුමක් හෝ කලාවක එහෙමත් නැත්නම් විනෝදාංශයක නිරතවෙනවා.
දරුවා චිත්‍ර අඳිනව නම් ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ චිත්‍ර එල්ලා තබන්න, සංගීත භාණ්ඩ තබන්න, කියවීමේ පොත් සහිත රාක්කයක් තබන්න ටිකක් පළල් සුවදායී පුටුවක් එක්කම කාමරයේ මුල්ලක් එහෙමත් නැත්නම් කාමරයේ තැනක් වෙන්කරන්න ඔබට පුළුවන්.
පාඩම් කර වෙහෙස වෙන දරුවාගෙ මානසික පීඩනය අඩු කරන්න එය උපකාරී වේවි.
ස්වභාවික ආලෝකය වගේම දරුවා පාඩම් කරන මේසය, කියවීමේ පොත් තබන ස්ථානයත් නිසිලෙස ආලෝකමත් වීම හරිම වැදගත්.
ඒ නිසා ඇසට හිරිහැරයක් නොවෙන සුදු පැහැති විදුලි පහන් හෝ මේසය මත තැබිය හැකි විදුලි බල්බ යෙදූ මේස ලාම්පු පාඩම් කරන ස්ථානයටත්, දරුවා කියවන සහ කලාවේ නිරත වන ස්ථානවලත් තැබීම අනිවාර්‍යයි.
ඇඳ ආසන්නයේ නම් වැඩි ආලෝකයක් අවශ්‍ය වෙන්නෙ නෑ.
මුළු කාමරයම එකට ආලෝකවත් කරන්න වගේම අදාළ ස්ථානවලට වැඩි වැදගත්කමක් දෙන්නත් මේ විදිහට පුළුවන්.
පෑන් පැන්සල් රඳවන්න, දරුවාගේ පොත් සහ ෆයිල් කවර රඳවන්න, දරුවාගේ පනාව, කොණ්ඩා පටි, ටයි පටි සහ සපත්තු රඳවන්න වෙනම ස්ථානත් වෙනම උපකරණත් දැන් වෙළඳපොලේ පහසුවෙන් වගේම වැඩි වියදමකින් තොරව සොයාගන්න පුළුවන්.
ඒ වගේ පුංචි පුංචි උපකරණ දරුවාට පිළිවෙලට තමන්ට අවශ්‍ය පොත් පත් උපකරණ තබාගන්න වගේම අවශ්‍ය වෙලාවකදී ඒව සොයාගන්නත් ලොකු උදව්වක්.
අවශ්‍ය නම් ඒ ඒ උපකරණ නම් කරන්න ඔබට පුළුවන්.
ඉතිං, මේ විදිහට සකසාගත්ත කාමරයක් පාඩම් කරන ඔබේ දරුවාට අවශ්‍ය මානසික නිදහස සහ පුද්ගලිකත්වය ගෙන එනවා නොඅනුමානයි.
සටහන – දුලානි නවෝද්‍යා
Saru FM Media