‘පාට සේදුණු වත්සුණු – 3

0
13


අත්තම්මා එක්ක මා කාමරයෙන් නික්මෙන්නට හදනකොට ම ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මගේ හදවත අලුතෙන් ම ගැස්සුණේ ය. කුසල් ආයේමත් කතා කරනවා ද යන බියෙනි මා දුරකතනය ගත්තේ. නමුත් තිරයෙහි සනිටුහන්ව තිබුණේ තුෂානි ගේ නම ය.

“තුෂී…මගෙ යාළුව කතා කරන්නෙ”

කාමරයේ දොර ළඟ නතර ව මදෙස බලා හිඳින අත්තම්මා ට මම සිනහවකින් කීවෙමි.

“එහෙනං ඉක්මනට කතා කරල එන්නකො. කෑම සීතල වෙනව”

කියා ගෙන අත්තම්මා නික්ම ගියා ය.

“තුෂී”

මම ඉක්මන් සතුටකින් කතා කළෙමි.

“ගයා. ඔන්න හෙට උදේ මං එනව”

“හෙට…තුෂී ඒත් පොඩි අවුලක්නෙ. මං දැන් ඉන්නෙ ගෙදර නෙවෙයි”

“එහෙනං…”

“අත්තම්මල මාව අවිස්සාවේල්ලෙ අත්තම්මලගෙ ගෙදර එක්කං ආව”

“ඒකත් එහෙමද…ඒත් දැං මං මේ ලෑස්ති වෙච්ච ගමන එනව ගයා. මේ කැලේට වෙලා ඉඳං මං කොහොමද ජොබ් එකක් හොයා ගන්නෙ…කාට හරි ඉස්කෝලෙ යාළුවෙක්ට කතා කරල දැනට නවතින්න තැනක් හොයා ගන්නං. මට ඔයාගෙ ගෙදර තියන ප්‍රශ්නෙ නොතේරෙනව නෙවෙයි”

“හරි. මං සීයලත් එක්ක කතා කරල  ඔයාට කෝල් බැක් කරන්නං. එතකං කාටවත් කතා නොකර ඉන්නකො”

කියා දුරකතන සම්බන්ධය බිඳ දැමූ මම කෑම කාමරය වෙත ගියෙමි. සීයා ත් අත්තම්මා ත් මේසය ට වාඩි වී මා එන තෙක් බලා සිටියහ. එය මට නුපුරුදු අත්දැකීමකි. මගේ අතීතය පුරාවට මා කෑම කෑවේ තනිව ම කීවොත් මුසාවක් නොවේ.

“ඇයි මං එනකල් හිටියෙ. කන්න තිබුණනෙ සීයා”

“දැං ඉතිං කෑම සීතල වෙනව කියල බැණ බැණ හරි කෑම මේසෙට තව කෙනෙක් එනකල් බලං ඉන්න පුළුවන් නෙ…නේද පුතාලගෙ තාත්තෙ…”

“නැත්තං. බලං ඉන්න එක තමයි ආදරේ කියන්නෙ. පහුගිය කාලෙ පුරාම එනකල් කියල බලං ඉන්න කෙනෙක් නැතුවනෙ අපි හිටියෙ”

පපුව පිච්චී ගියා බඳු සංවේදනයක් මට දැනිණ. අප හැම කෙනෙක් ම හිඳින්නේ ජීවිතය තුළ මොන තරම් තනි වී ගෙන ද? ඒ තනි කම දරා ගැනීම කෙතරම් දුෂ්කර ද කියා මම හොඳට ම අත්විඳ ඇත්තෙමි. නමුත් දුෂ්කරයි කියා ජීවිතය හැර යා නො හැකි ය. මේ තරම් වයස් ගත වී ත් අත්තම්මා හා සීයා තණ අග එල්ලුණ පිනි බිඳක් සේ බලාපොරොත්තු දල්වාන, ජීවිතයෙහි එල්ලී ගෙන සිටින්නේ එබැවිනි.

“දැං කතා කරපු තුෂී මගෙ ඉස්කෝලෙ යාළුව අත්තම්ම. එයා මෙහෙ නෙවෙයි. ඔය කතරගමටත් එහා ඈත. ජොබ් එකක් හොයාගන්නකල් එයා අපේ ගෙදර ඇවිත් නවතින්නයි හිටියෙ. ඔය දැං කතා කළේ හෙට එනව කියන්න”

“අනේ දෙයියනේ. ඉතිං දැං මොකද කරන්නෙ…”

“පව්. එයා ප්‍රශ්න ගොඩක් තියන පවුලක ළමයෙක්. ශිෂ්‍යත්වෙ පාස් වෙලයි අපේ ඉස්කෝලෙට ඇවිත් තිබුණෙ”

පාසල් නේවාසිකාගාරයේ තනි වූ ඇයත් මාත් බොහෝ දුර ට සමාන තනි කමකින් පෙළුණු නිසාවෙන් අපි ඉක්මනින් ම සමීප විමු. ඒ මිතු දම පාසල් ජීවිතය අවසාන වන තුරු ද පැවතිණ.

“පව්. ඉතිං ඒ ළමයට තැනක් හොයා ගන්නකල් මෙහෙ ටික දවසකට නවතින්න කියන්න. නේද පුතාලයි තාත්තෙ”

“ඔව් ඉතිං. ගයාත්මිත් එක්ක එහෙ ගෙදර නතර වෙන්න හිතං හිටියනං…එහෙම දරුවෙක්ට උදව් කළාට පව් සිද්ද වෙන්නෑනෙ. ඒ ළමය තැනක් හොයා ගන්නකල් ඇවිත් ඉන්න කියන්න”

“අනේ තෑන්ක් යූ සීයා. තැන්ක් යූ අත්තම්මා. මං ඉක්මන්ට එයාට කියල එන්නං”

“මේ මේ. දැං කෑම කාල ඉන්න. පස්සෙ ඕක කියන්න බැරි කමක් නෑනෙ”

අත්තම්මා අතින් අල්ලා මා නවතා ගත්තා ය. මම ඔවුන් ගේ ආ ගිය කතා අසමින් සතුටින් කෑම කෑවෙමි. තුෂී ට උදව් කළ හැකි වීමත්, මටත් පවුලක් කියා දෙයක් ලැබුණා ය යන හැඟීම ත් හැරෙන්නට වෙන සතුටක් එතැන වූයේ නැත. අළු යට ගිනි පුළිඟු සේ, කුසල් ගැන බියකරු සිතිවිලි මගේ චිත්තාභ්‍යන්තරයෙහි වූයේ ය. යළි ගෙදර එන්නට ය කියා ඔහු මට තර්ජනය කළේ ය. ඉතින් හෙට උදා වෙන දවස කෙබඳු වේවි ද කියා සිතා ගැනීමටත් අසීරු ය.

වෙනදා නම් එවන් තර්ජනයකදී මා දැඩි සේ බිය පත් ව උදෑසන ම ගෙදර දිව යන්නට තිබිණි. නමුත් මේ සීතල රාත්‍රියේ දී මම පෙර ට වඩා සිතින් සවිමත් ව සිටියෙමි.

උදේ මා අවදි වන විට හිරි පොද වැස්සක් ඉහිර යමින් තිබිණි. දිග වීදුරු ජනේල වලින් ඈත පෙනුන නත්තසූරිය වැටේ මල්, වැස්ස නිසා කෝල වූ යෞවනියන් මෙන් මූණු බිමට නැඹුරු කර ගෙන සිටියේ ය. මේ අරුණෝදය මොන තරම් නම් සෞම්‍ය ද ? මම ගෙහි දුහුවිලි පිස දමා අතුපතු ගෑවෙමි.

“ඉස්සර වගේ මට දැං ඔය වැඩ කරන්න බෑ. කොන්දෙ අමාරුව එනවනෙ. ඔය ශාන්ති කම්මැළි කමට හොර වැඩ කරනව මිසක් හරියකට දූවිල්ලක්වත් පිහිදාන්නෑ”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here