ඉන්ධන මිලෙහි ඇති වූ දැවැන්ත ඉහළ යාමත් සමඟ පාකිස්තානය පුරා මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 20 සිට 65 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්ධන මිල සහ ප්‍රවාහන ගාස්තු මාසයක් ඇතුළත දෙවතාවක් සංශෝධනය වීම හේතුවෙන් මෙම දැඩි පිරිවැය ඉහළ යාම සිදුව ඇත.
එරට පොදු ප්‍රවාහන හිමියන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ අඛණ්ඩව සිදුවන මෙම ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහන හිමියන් මෙන්ම මගීන් ද දැඩි ලෙස පීඩාවට පත් කර ඇත බවය.
පාකිස්තානය තුළ අප්‍රේල් මාසයේ සිදු කරන ලද නවතම සංශෝධනය යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137.24කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 458.40ක් ලෙස සටහන්ව ඇත.
එමෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 184.49කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520.35ක් වේ.
පෙෂාවර්හි පැවැති ඒකාබද්ධ රැස්වීමකින් අනතුරුව, අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් මාර්ග සඳහා ගාස්තු තවත් සියයට 25කින් ඉහළ නැංවීමට ප්‍රවාහන සංගම් අනුමැතිය ලබා දී ඇති අතර, පන්ජාබ් ප්‍රාන්තයේ ද මගී ගාස්තු දැනටමත් සියයට 65කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
කෙසේවෙතත් මගී ප්‍රවාහනයට සමගාමීව, පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන හිමියන්ගේ සංගමය ද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළ නංවන බව ද ප්‍රකාශ කර තිබේ.
Saru News
















