ප්‍රේමදාස සංවර්ධන මොඩලය

0
3


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වැනි අනුස්මරණය මැයි මස 01 ට යෙදින. මේ ලිපිය ඒ නිමිත්තෙනි…

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් මේ වනවිට ගෙවී ගොස් තිබේ.

1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත් බොහෝ අයගේ මතකයේ තිබෙනවා නොඅනුමාන ය. මෙරට සමාජයේ මෑතකාලීන දේශපාලන ප්‍රවණතා අධ්‍යයනය කරන්නකුට මග හැර යා නොහැකි සංවර්ධන සම්ප්‍රදායක් එකතු කළ විශිෂ්ට ගණයේ දේශපාලනඥයෙකු ලෙසින් ඔහු එක් පැත්තකින් අගය කරන බව සැබෑවක්ය.

එයින් එපිටට තල ගණනාවකම සාකච්ඡා කළ හැකි මැදිහත්වීම් ගණනාවක්ම ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් පෙන්නුම් කෙරේ. මා මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ බහුවිධ පරාසයක විසිරී පවතින ඔහුගේ ජනතා සේවය පිළිබඳවය. ඒ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන එක් නිගමනයක් වන්නේ මෙරට සමාජයට නව සංවර්ධන මොඩලයක් ඔහු වෙතින් යෝජනා වූ බවය.

වඩාත් ශාස්ත්‍රීය භාෂාවෙන් කියන්නේ නම් පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික දේශපාලනයේ බටහිර ආකෘතින් මෙරටට ගලපාගත් සහ ස්වදේශිකත්වය මුල්කරගත් නව සංවර්ධන මොඩලයක් ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ක්‍රියාකාරිත්වයෙන් ගොඩනගා ගත හැකි බවයි.

ඔහුගේ ගුණානුස්මරණය වඩාත් ඵලදායක වන්නේ එවැනි පදනමකින් ප්‍රේමදාස මැදිහත්වීම (Premadasa intervention ) කියවීමෙන්ය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට නව අරුතක්

මගේ නිරීක්ෂණයේ පළමු කාරණය වන්නේ ප්‍රේමදාස මහතා මෙරට ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය පිළිබඳව ඉදිරිපත් කර තිබූ වැදගත් අදහසක්ය. යටත් විජිත පාලනය නිමාවීමත් සමග මෙරට හඳුන්වා දුන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හෙවත් ‘ජනතාවගේ අභිමතයෙන් පත්වන පාලනය’ පිළිබඳ සංකල්පය සමහර නායකයන් පාවිච්චි කළේ වසර 05 වතාවක් ජනතාවගේ එකඟතාව ලබාගෙන ‘තමන් කැමති දෙයක්’ සිදුකිරීමේ ක්‍රමවේදයයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය වසර 05කට එක් වතාවක් පමණක් ජනතාවගේ අභිමතය විමසීමට සිදු කරන භාවිතාවක් බවට පත් වුණේ ඒ ආකාරයටය. ප්‍රේමදාස මහතා මේ කාරණය පිළිබඳව වෙනත් හැදෑරීමක සිටි බව පෙනී යන්නේ ඔහු 1973 වර්ෂයේ කොළඹ රොටරි සමාජයේ පැවැත්වූ ප්‍රමුඛ දේශනය දෙස බැලූවිටය.

විශේෂයෙන්ම ඔහු යෝජනා කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දායක භූමිකාව, වසර 05කට වරක් ඡන්දය පාවිච්චි කිරීමෙන් නවතින්නේ නැතිව, සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා රජය ගනු ලබන ප්‍රතිපත්ති තීරණ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here