ප්‍රසූතියෙන් පසු අම්මයි බබයි ගැන තාත්තාගේ වගකීම් මොනවාද?

0
15


මාතෘත්වයේ කිරුළ දරා ඔබේ බිරිඳ නිවසට කැඳවාගෙන එන ඔබ ද දැන් පිය පදවිය ලබලා. අම්මට වගේම වෙනදට වඩා සතුට, ප්‍රීතිය, වගකීම් සමුදායක් ඔබටත් දැනෙනවා ඇති.  දසමසක් ඔබේ පැටියා කුස දරා සිටි ඔබේ බිරිඳ දුක් වේදනා මැද ඔබේ ශක්තිය මතින් දරු ප්‍රසූතියට මුහුණ දෙමින් ඔබට, ඔබගේ ලෝකයට අරුතක් ගෙන දෙමින් ඔබව පිය පදවියේ කිරුළු පැළඳුවා සේම එතැන් පටන් ඔබ වෙත පැවරෙන වගකීම් ද සුළුපටු නොවේ. අද ඔබ තාත්තා කෙනෙක්. ඔබගේ කැදැල්ල සම්පූර්ණ කරමින් නිවසට පැමිණි පැටියාගේ සුවඳින් මුළු නිවසම සුවඳවත් වෙලා. මේ සූදානම‍ දරුවාගෙන් සුරක්ෂිත වූ උණුසුම් ආදරයක් හිමි කරන්නට ඔබ දරන වෑයමට අත්වැලක් සපයන්නටයි. 

ඔබේ බිරිඳ දරුවා දස මසක් කුස දරා සිටියා සේම ප්‍රසූත වේදනාව දරා මහත් වෙහෙසට පත්ව ඉන්න මේ වෙලාවේ ඔබේ උණුසුම, ආදරය, රැකවරණය ඇගේ මහන්සියට වේදනාවට හොඳම ඔසුවයි. එසේ හෙයින් මෙතැන් පටන් ඇගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන්නට වෙනදාට වඩා ඔබට සිදුවේ. ඒ ඇය වේදනා, අපහසුතා මැද ප්‍රසූතියට මුහුණ දී ලද මහන්සිය ඇයට මහන්සියක් ම නො වන්නට ඔබේ උදව් අවැසි මොහොතයි. මේ වේදනාවන් සමගින් ඇයට ඔබේ දරුවා මව්කිරි දී පෝෂණය කරන්නට සිදුවේවි. එහිදී ඇයට උදවු කරන්නට ඔබ අනිවාර්යෙන්ම ඇපකැප විය යුතුමය.

ඇය දරුවාට මව්කිරි දීමේදී,

ගර්භනී කාලය පුරා දරුවා ලැබී මුල් වසරක කාලසීමාව පුරා ඔබේ බිරිඳගේ චිත්තවේග පුළුල් පරාසයක විහිදී තිබෙනවා. ඒ ඇය අලුත ලැබූ පදවිය ඒ හා සමග ඇයගේ සිතුම් පැතුම් වෙනස්කම් වගේම ඉන්පසු ඇයට ලැබුණු වගකීම් සම්භාරය අතර ඇයගේ චිත්තවේග ගමන් කරනවා. මෙසේ හෙයින් ඇයගේ සිතට දැනෙන බර ගතිය වගකීම් සම්භාරය අධික වැඩ ප්‍රමාණය සමග පාලුවක් කාසියක් තනිකමක් වගේම චිත්ත වික්ෂිප්තභාවය, දරා ගැනීමේ සීමාව තුළ රඳවා ගැනීමට ඇයට ආදරය සෙනෙහස රැකවරණය වගේම ප්‍රශංසා අත්‍යවශ්‍යයි‍. මේ ඒ සඳහාම සැමියා ලෙස ඔබ වැය කළ යුතු කාලයයි. එසේ හෙයින් වෙනදා මෙන්ම,

ඇයට දැනෙන ලෙස ආදරය කරන්න

ඇය හා එක්ව දරුවාගේ සියලු කටයුතු කරන්න

ගෙදර දොර වැඩ වලදීත් පෙරදාට වඩා ඇයට උදව් කරන්න

ඇයට ඕනෑම මොහොතක ඔබගේ සහයෝගය ලබන බවට වග බලා ගන්න

ඇය සතුටින් සිටින බව එවිට ඔබට දැනෙයි. ඇගේ චිත්ත ශක්තිය දුර්වලව ඇත්නම් එයද ඔබට වැටහේවි. වෙනදා මෙන් ඇය ගැන ඔබ ගැන හෝ ඔබේ දරුවා කෙරෙහි දක්වන ඇල්ම ආදරය සැලකිල්ල ඇගන් ගිලිහී ඇති බව ඔබට වහා අවබෝද කරගත හැකි වන අතරම එය වහා නිවැරදි කර ගැනීමට අවශ්‍ය බව ඔබට පසක් වේවි. එසේ හෙයින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ හෝ පවුල් වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීමට ඇවැසි නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඔබට ඇයට දරුවාට මෙන්ම පවුලටම එය සහනයක් වනු නිසැකය.

ඔබ මෙසේ ඇය ගැන සිදුකරන සමීප විපරම ඔබ පවුල් සෞඛ්‍යයට ද පහසුවක් සලසන අතරම මවගේ ද සතුට වැඩි වන අතරම එය ඔබගේ දරුවාගේ වර්ධනයට මෙන්ම සංවර්ධනයට ද මහත් පිටිවහලකි. දරුවාගේ පෝෂණය මෙන්ම මවගේ පෝෂණය පවිත්‍රතාවය ගෙදරදොර කටයුතුවලදී ඔබ දක්වන දායකත්වය ඔබ පවුලේ සමගිය සමාදානය මෙන්ම සන්තෘෂ්ටිය ද වඩ වඩා වැඩි කරයි. 

ප්‍රසූතියෙන් පසු බිරිඳට ඇතිවිය හැකි කායික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්ව ගැනද ඔබ සැමියෙකු ලෙස දැනුවත් විය යුතුය. ඒ අතරින් අධික රුධිර වහනය, කෙණ්ඩා වේදනාව, මලබද්ධය, මුත්‍ර ආසාදන වැනි තත්ත්ව ගැන විමසින්ලෙස් සිටීමද ඉතා වැදගත් වේ. 

පියෙකු ලෙස ඔබට මගහැරිය නොහැකි තවත් වගකීම්

තම දරුවාගේ උපතේ සිට සියලු කටයුතු සොයා බැලීමෙන් මවට උදව්කරමින් දරුවාගේ කටයුතු නිවසේ කටයුතු සිදුකිරීම තුලින් ඔබට පිය පදවියේ නියම අර්ථ වටහා ගත හැකි වනු ඇත. ඔබ දෙපළගේ සුරතලය, ආදරය මැද වැඩෙන දරුවාගේ අනාගතය ඔබ බලාපොරොත්තු වන අන්දමටම සාක්ෂාත් කරගැනීමට ඔබගේ මේ කැපවීම මහත් පිටිවහලක් වනු ඇත.

 

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here