ප්‍රසාරණී මීටර් 9 ක් පමණ දිගට වැඩෙන සිහින් කඳක් සහිත වැල් ශාකයකි. මෙම වැල්වලින් දුඟඳක් හමන නිසා ගන්ධ ප්‍රසාරණී යනුවෙන් ද හඳුන්වයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර ආයත හෝ ලන්සාකාර වේ. පත්‍ර වෘන්ත තරමක් දිගු වන අතර පත්‍ර අග්‍රය තිවෘ ස්වභාවයකි. පත්‍රයක් දිගින් සෙ.මි. 5-7.5 පමණ වන අතර පළලින් සෙ.මි. 2.5-3.5 පමණ වේ. බහු අක්ෂ පුෂ්ප මංජරිවල රෝස හෝ රතු පැහැති ද්වීලිංගික මල් රාශියක් එකවර හට ගනී. ගෝලාකාර හැඩැති කුඩා ඵලය තුල මි.මි. 5.5 පමණ දිගැටි බීජ 1 ක් හෝ 2 ක් පිහිටයි. ප්‍රසාරණී Rubiaceae උද්භිද කුලයට අයත් මෙරටට හඳුන්වාදී ස්වභාවිකකරණයට ලක් වී ඇති විදේශීය ශාක විශේෂයකි.
ප්‍රසාරණී මෙරටදී තරමක් මතභේදාත්මක ශාකයක් වී ඇත්තේ ඇතැම්හු මෙම ශාකය ආපසුමදු නමින් හඳුන්වන බැවින් සහ එනමින් ඖෂධ පිණිස යොදා ගන්නා බැවිනි. දේශීයව ආපසුමදු නමින් හඳුවන්නේ Xenostegia tridentata නම් උද්භිද නාමයෙන් හඳුන්වන කහ පැහැති මල් හට ගන්නා වැල් වර්ගය වන අතර එය එනමින් සඳහන් දේශීයව වට්ටොරුවලදී ප්‍රතිකාර සඳහා යෙදේ. මෙම වැරදි හැඳින්වීම අනුව යමින් ඇතැමුන් ප්‍රසාරණී යෙදිය යුතු තැන්වල මෙම දේශීය ආපසුමදු ශාකය යොදා ගැනීමට පෙළඹී ඇති නිසා ප්‍රතිකාරවල ගුණාත්මක භාවය පිරීමට ලක්ව ඇති බව වෘද්ධ වෛද්‍ය මතයයි.
වාත රෝග, සන්ධිවාත, ආමවාතය නිසා හටගත් සන්ධි ඉදිමීම, සෙම නිසා හටගත් රෝග, මූල රෝග, ශරීරදුබලතා, අන්ත්‍රශූල, රක්තවාත, සූතිකා රෝග, උණ, අක්ෂි රෝග, අතීසාර, ප්‍රවාහිකා ආදි රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රසාරණී සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. ප්‍රසාරණී ඉදිමුම් නසන, ශක්තිජනක, මුත්‍රකාරක, වණ රෝපණය කරන, වේදනා සමනය කරන, කාමොද්දීපක ආදී ගුණ සහිතයි.
විරේකය, ප්‍රවාහිකා, බෙලහීනතාවය ආදියට ප්‍රසාරණී කොළ තම්බා පෙරාගත් ජලය බොන්නට දෙයි. වාත රෝග සඳහා මුල් කෂාය යොදා ප්‍රතිකාර කරයි. අර්ශස් රෝගීන්ට ප්‍රසාරණී දලු සහ කොළ මැල්ලුම් හා ව්‍යංජන ලෙස සකසා කෑමට දෙයි.
උදර ආබාධ, ආම ශූල, බඩ පිපුම ආදී ආන්ත්‍රික ආබාධ සඳහා ප්‍රසාරණී කොළ කොටා වතුර ස්වල්පයක් එකතු කොට මිරිකා පෙරාගත් යුෂ දිනපතා භාවිතයෙන් එම තත්වය ක්‍රමයෙන් පහ වන බව සඳහන්. වාත වේදනා සඳහා ස්නානයට කොළ තැම්බූ ජලය යොදාගන්නා අතර උදරය ඉදිරියට නෙරා ඒම, විසර්ප, පණු කැවිලි ආදී අවස්ථාවන්ට පත්‍ර ප්‍රලේපය යෙදේ. කුඩා දරුවන්ගේ අතීසාරය වැළැක්වීමට පත්‍ර සාරය භාවිතා වෙයි. මුලෙහි සාරය අජීර්ණ, අර්ශස්, ප්ලීහා රෝග, අක්මා රෝග ආදිය සඳහා නිර්දේශ කෙරේ. මෙහි ඵලය අවර්ණ වූ දත්වල පැහැය නැවත ඇති කිරීමට සහ දත්වල වේදනා සමනයට යොදා ගනී. වාත රෝග සඳහා භාවිතාවන කෂාය වල, විශේෂයෙන් සූතිකාවන්ගේ බොහෝ රෝග නසන සූතිකා දශමුල කෂායෙහි යෝගයක් ලෙස ප්‍රසාරණී යෙදේ.
Saru FM Media