ප‍්‍රබලම ලොක්කන් තුන්දෙනෙක් යෝල්ටාවට ගිය රහස් ගමනක්… – Saru News | සිංහල

0
2

ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය දියත් කර තිබෙන යුද්ධය මේ වනවිට ලෝකයම වෙලාගත් ආර්ථික යුද්ධයක් බවට පත්ව තිබේ. මෙම ආර්ථික යුද්ධයේ බරපතළම ප්‍රහාරය ඇමෙරිකාව කේන්ද්‍රගත කර තිබෙන “පෙට්‍රෝ ඩොලර්” අවියට එරෙහිව ඉරාන පාර්ශ්වයෙන් උපක‍්‍රමික ලෙස දියත් කරමින් තිබෙන බව මේ වනවිට තහවුරු වී අවසන්ය. ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට 1943 දෙසැම්බර් මස රැස්වූ සෝවියට් රුසියානු නායක ජෝසප් ස්ටාලින් බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් එක්වී පැවැත්වූ සාකච්ඡාව “ටෙහෙරාන් සමුළුව” යනුවෙන් දේශපාලන ඉතිහාසයට එක්විය. මෙම ලෝක නායකයන් තිදෙනා ඊළඟට සාකච්ඡා පැවැත්වූයේ වර්තමාන යුක්‍රේනයට අයත් ක්‍රිමියාවේ, යෝල්ටා නම් ස්ථානයේය. මුල්ම සාකච්ඡාව පැවැත්වූ ඉරානය මෙන්ම යුක්‍රේණයද මේ වනවිට බිහිසුණු යුද්ධයක පැටලී සිටීම දෛවෝපගත සිදුවීමකි. පෙරකී රාජ්‍ය නායකයන් ලෝක ඉතිහාසයේ තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පැවැත්වූ මෙම ස්ථානයේ නමින් “යෝල්ටා සමුළුව” යනුවෙන් දේශපාලන ඉතිහාසයට එක්වී ඇත. “ටෙහෙරාන් නුවරට සෝවියට්, ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය නායකයෝ රැස් වෙති…” යන ලිපියේ දෙවන පිවිසුම ලෙස එම සමුළුව පිළිබඳ දේශපාලනික විමසා බැලීමක් මෙම කෙටි ලිපියෙන් සිදුකෙරේ.

හිට්ලර්ගේ ඒකාධිපති ෆැසිස්ට් වියරුව පරාජය කිරීම සඳහා සෝවියට් රුසියාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සහ ඇමෙරිකා එක්සත් ජනපදය මුල්වී මිත්‍ර පාර්ශ්වික පෙරමුණේ සටන් අවසාන ඉමකට සේන්දු වෙමින් තිබුණේ හිට්ලර්ගේ නියත පරාජය තහවුරු කරමින්ය. 1945 පෙබරවාරි 05 දින යෝල්ටා සමුළුව ආරම්භ කෙරෙන්නේ මෙම පසුබිම තුළය. එහිදී මෙම නායකයන්ගේ ප්‍රධාන අවධානය යොමුකර තිබෙන්නේ හිට්ලර් පරාජය කිරීමෙන් පසුව ජර්මනිය පාලනය කරන ආකාරය, යුද්ධයෙන් විනාශයට පත්වූ රටවල් නැවත ගොඩනැගීම සහ ලෝකයේ තිරසර සාමය පවත්වාගෙන යමින් නැවත ගොඩනැගීම වැනි කරුණු කෙරෙහිය. මෙම සමුළුව පවත්වා මාස තුනක් ඉක්ම ගිය තැන, එනම් 1945 මැයි 08 වැනි දින නිල වශයෙන් දෙවන ලෝක යුද්ධය නිමාවට පත්කරනු ලැබීය. එම නිමාව සටහන් කිරීමේ සුවිශේෂී කාර්යභාරයක් සෝවියට් රුසියාවේ රතු හමුදාව ප‍්‍රමුඛ හමුදා කණ්ඩායම් විසින් ඉටුකරන ලදී. සෝවියට් රුසියාව තනිවම ජර්මනියේ නැගෙනහිර කොටස යටත් කර ගත් අතර, එම නැගෙනහිර කොටසේ බංකරයක සැඟවී සිටි ඇඩොල්ෆ් හිට්ලර් රතු හමුදාවට යටත් වීම වෙනුවට සිය දිවි හානිකර ගත්තේය. මෙන්න මේ දක්වා හිට්ලර් යුධමය වශයෙන් පරාජය කරමින් තිබූ පසුබිමේ යෝල්ටා සමුළුව පැවැත්වූ බව අවධාරණය කර ගැනීම වැදගත්ය.

ඒ වනවිට මහා බලවතුන් තිදෙනා යනුවෙන් නම්කර තිබූ සෝවියට් රුසියාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පශ්චාත් ලෝක යුද සමයේ සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන රටවල් බවට නිරායාසයෙන්ම පත්ව තිබිණි. යෝල්ටා සමුළුවේදී ජෝසප් ස්ටාලින්, වින්සන් චර්චිල් සහ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් එකඟ වූ මූලික කරුණු පශ්චාත් යුද සමයට අදාළ ක්‍රියාත්මක කිරීමේ පුළුල් සැලසුම්වල මූලික හරය අඩංගු විය. ඔවුන් එකඟ වූ කරුණු අතර, ජර්මනිය බෙදා වෙන්කර පාලනය කිරීම, පෝලන්තයේ දේශ සීමාව තීරණය කිරීම, ජපානයට එරෙහිව යුදමය පරාජයක් අත්කර දීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා තිරසාර ලෝක සාමයක් ඇති කිරීම, පිළිබඳ සංකල්ප ඇතුළත් ය. යෝල්ටා සමුළුව පිළිබඳව එතරම් ප්‍රචලිත නොවූ තවත් මාතෘකාවක් සාකච්ඡාවට භාජනය වී තිබිණි. ඒ ලෝක ආර්ථිකය යළි ගොඩනැගීම පිළිබඳවය. ඒ වනවිටත් 1944 ජූලි මස ඇමෙරිකාව තම ලෝක ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ සැලසුම් සකස් කෙරෙමින් තිබිණි. ටෙහෙරාන් සමුළුවේදී සිදුකළ සාකච්ඡා පදනම් කර ගනිමින් ඇමෙරිකාව තම ආර්ථික මූලෝපායික සැලසුම් සකස් කිරීමට 1944 ජූලි මස වන විටත් මුල පුරා තිබිණි. එහෙත්, ඒ බව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබුණේ නැත.

ඇමෙරිකාවේ නිව්හැම්ෂයර් ප්‍රාන්තයේ කැරොලින් නගරයේ බ්‍රෙට්න්වුඩ් කලාපයේ පිහිටි මවුන්ට් වොෂින්ටන් හෝටලයේදී 1944 ජූලි මස පළමුවැනි දින සිට 22 වැනි දින දක්වා සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවට ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව හෙවත් එරට මහ බැංකුවේ අධිපති මැරිනාර් එස්. එක්ල්ස් (Marriner S. Eccles) ඇමෙරිකා එක්සත් ජනපදයේ එවකට සිටි භාණ්ඩාගාර ලේකම් හැරී ඩෙක්ස්ටර් වයිට් (Harry Dexter White) සහ සහකාර භාණ්ඩාගාර ලේකම් සම්බන්ධ වී සිටියහ. ඊට අමතරව එවකට ධනවාදී ලෝකයේ ප‍්‍රධානම ආර්ථික විද්‍යාඥයා ලෙස පිළිගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික ජෝන් මෙනාඩ් කේන්ස් (John Maynard Keynaes) ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගීවී සිටියහ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවනු ලැබූයේ ධනවාදී ආර්ථික ක්‍රමයේ තිරපැවැත්ම දෙවන ලෝක යුද්ධය නිමාකිරීමෙන් පසුව ඉදිරියට ගෙන යාම සඳහාය. බ්‍රෙට්න්වුඩ් සම්මුතිය තුළින් පෙරකී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ගනු ලැබූයේ මෙම අරමුණ පෙරදැරි කර ගනිමින්ය. ඊට අමතරව ලෝකයටම වලංගු පොදු විනිමය ඒකකයක් තීරණය කිරීමටද මෙම සමුළුවේදී ප‍්‍රයත්න දැරිණි. එවැනි විකල්ප පොදු මූල්‍ය ඒකකයක් ලෙස බ්‍රිතාන්‍යය විසින් BARCOR යෝජනා කළ අතර ඇමෙරිකාව UNITAS නම් ඒකකය යෝජනා කරනු ලැබීය.

ටෙහෙරාන් සමුළුව පවත්වා මහා බලවතුන් තිදෙනා එකඟ වූ කරුණු අනුව ඇමෙරිකාව තම ඉදිරි මූලෝපායික සැලසුම් සකස් කළේ මෙන්න මේ බ්‍රෙට්න්වුඩ් සාකච්ඡා පදනම් කර ගනිමිනි. ටෙහෙරාන් සමුළුව පැවැත්වූ 1943 දෙසැම්බර් සිට යෝල්ටා සමුළුව පැවැත්වූ 1945 පෙබරවාරි දක්වා කාලය තුළ ඇමෙරිකාව තමන්ගේ බල ආධිපත්‍යය පිළිබඳව අනෙකුත් මහා බලවතුන් දෙදෙනාටත්, විශේෂයෙන්ම සෝවියට් රුසියාවට හොර රහසේ වෙනම න්‍යාය පත්‍රයක් සකස් කරමින් තිබිණි. මේ බව වඩාත් හොඳින් තහවුරු වන්නේ 1945 මැයි මස 08වැනි දින ජර්මනිය නිල වශයෙන් පසු ජපානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම බලවතුන් තිදෙනාම මුලින් ඇතිකර ගෙන තිබූ එකඟතාව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් බිඳ දැමීමෙන්ය. 1945 ජූලි මස, එනම් ජර්මනිය නිල වශයෙන් පරාජය බාරගැනීමෙන් පසුව පරමානු බෝම්බයක් නිෂ්පාදනය කිරීම කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපදය අනෙකුත් බලවතුන් දෙදෙනාට හොර රහසේ ක්‍රියාත්මක කරන ලදුව එය “මෑන් හැට්න් ව්‍යාපෘතිය” යනුවෙන් රහසිගතව පවත්වාගෙන ගොස් තිබිණි. මෙම පරමාණු බෝම්බ ව්‍යාපෘතියේ අත්හදා බැලීම 1945 අගෝස්තු මස 06 වැනි දින සහ අගෝස්තු මස 09වැනි දින ජපානයේ හිරොෂිමා සහ නාගසාකි නගරවලට බෝම්බ හෙළීමෙන් සිදු කරනු ලැබීය.

එම පරමාණු බෝම්බ ප‍්‍රහාරයෙන් මිනිස් ජීවිත එක්ලක්ෂ විසිනවදහසක් පමණ ක්ෂණිකව ඝාතනය කරන ලද අතර, දින කිහිපයක ඇවෑමෙන් එය දෙලක්ෂ විසිහයදහස දක්වා ඉහළ ගිය බව අනාවරණය වී තිබේ. ටෙහෙරාන් සමුළුවෙන් ආරම්භ වී යෝල්ටා සමුළුව දක්වා කාලය තුළ ඇමෙරිකාව තම බල ආධිපත්‍යය වෙනුවෙන් ක්‍රියාකළ ආකාරයත් එම සමුළුවලට සහභාගී වූ අනෙකුත් ලෝක බලවතුන් දෙදෙනා නොමග යවමන් ලෝකයේ යුද ආධිපත්‍යය මෙන්ම ආර්ථික ආධිපත්‍යයද තමන් සතු කර ගැනීමේ ක්‍රියාමාර්ග රැසක් සැලසුම් සහගතව දියත් කර තිබිණි. ඒ අතරින් පරමාණු බෝම්බය මගින් ලෝකයේ යුද ආධිපත්‍යය තහවුරු කර ගැනීම සහ ලෝකයේ ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ඩොලරය පාවිච්චි කිරීම තහවුරු කර ගැනීමට උපක්‍රමික ලෙස ඇමෙරිකාව සමත් වූයේය. විශේෂයෙන්ම ලෝකයට පොදු විනිමය ඒකකයක් ලෙස බ්‍රිතාන්‍යය යෝජනා කළ BARCOR නම් ඒකකය ප්‍රතික්ෂේප කිරීම පිළිගත හැකි තර්කයක් බවට පත්කරනු ලැබූයේ ඇමෙරිකාවම ඉදිරිපත් කළ UNITAS නම් ඒකකයට ප්‍රතික්ෂේප කිරීම මගිනි.

මේ වනවිට ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යුද්ධය දියත් කර තිබෙන්නේ ආසන්න කාලය තුළ ඉරානය සමග ඇමෙරිකා එක්සත් ජනපදය සංහිඳියාව පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරදී බව විශේෂයෙන් අවධානයට ගත යුතුව තිබේ. ඒ ආකරයෙන්ම දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා ද මෙම මහා බලවතුන් තිදෙනා එක්වී සාකච්ඡා කරන අතර ඇමෙරිකාව පරමාණු බෝම්බයෙන් සන්නද්ධ විම සහ ලෝකය මත ආර්ථික ආධිපත්‍යය පැතිර විය හැකි ඩොලරයෙන් සන්නද්ධ වීමත් අවධානයට ලක්කිරීම වැදගත්ය. පරමාණු බෝම්බය සහ ඩොලරය එකම ආකාරයෙන් ලෝකය මත බලය පැවැත්වීම පිළිබඳ කතාව මීලඟට බලාපොරොත්තුවන්න.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here