අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මාර්තු 09 දින පිලිපීනයේ සිදු කළ නිල සංචාරයේදී අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන පිලිපීන ආයතන සමඟ සාකච්ජා මාලාවකට සහභාගී විය.
මාර්තු 09 වන දින අගමැති, පිලිපීනයේ අධ්‍යාපන ලේකම් Sonny Angara මුණ ගැසුණු අතර මෙම සාකච්ඡාවේදී අධ්‍යාපන ප්‍රතිපත්ති, ගුරු පුහුණු වැඩසටහන්, විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රියාවලිය ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය. විෂයමාලා නවීකරණය කිරීම සහ ඉගෙනුම් ක්‍රියාවලියට තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අගමැති මෙහිදී පැහැදිලි කළාය.
මෙම සංචාරය අතරතුර අගමැති පිලිපීනයේ උසස් අධ්‍යාපන කොමිසමේ (CHED) සභාපති ආචාර්ය Shirley C. Agrupis ඇතුළු නියෝජිත පිරිසක්ද හමුවිය. මෙහිදී දෙරටේ උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වුණු අතර, පර්යේෂණ සහයෝගීතාව, විශ්වවිද්‍යාල අතර අධ්‍යයන හවුල්කාරිත්වය, ශිෂ්‍ය හා පීඨ හුවමාරු වැඩසටහන් සහ තත්ව සහතික රාමු ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
මීට අමතරව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය තාක්ෂණික අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අධිකාරියේ (TESDA) ලේකම් සහ අධ්‍යක්ෂ ජනරාල් Jose Francisco B. Benitez සමඟ සාකච්ඡා පැවැත්වූ අතර දැනුම හුවමාරු වැඩසටහන්, ආයතනික හවුල්කාරිත්වය, කුසලතා හඳුනා ගැනීම සහ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා සුදුසුකම් රාමු පෙළගැස්වීම ඇතුළුව තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු (TVET) ක්ෂේත්‍රයෙහි සහයෝගීතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළහ.
තිරසාර සංවර්ධනය සහ මානව ප්‍රාග්ධන වර්ධනයට සහාය වීම සඳහා අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර පර්යේෂණ ආයතන සමඟ ශ්‍රී ලංකා සහ පිලිපීන රජයන්හි කැපවීම මෙම සාකච්ඡා හරහා තවදුරටත් තහවුරු විය.
ශ්‍රී ලංකා දූත පිරිසට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා සහ අගමැති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එච් පියුමි බණ්ඩාර යන නිලධාරීහු එක්ව සිටියහ.



1
Saru News
















