
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනෙකු ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම් කිහිපයක් ගොනුකරමින් සිදුකළ ඉල්ලීමක් අප්‍රේල් 30 වැනි දින සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම, මෙම මහජන නියෝජිතයින් ලබාගත් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් පිරිසකට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරිය, මෙම පිරිස විදේශගතව ප්‍රතිකාර ලබා ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියට ද නියෝග කර ඇත.
36 දෙනෙකුට කෝටි ගණනින් මුදල් ලබා දී ඇත
මෙම 22 තෝරාගෙන තිබෙන්නේ අරමුදල අවභාවිතා කළ 36 දෙනෙකු ගැන කළ පරීක්ෂණ වලින් පසුව බව වාර්තාවේ.මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් 2005-2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 2024 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
“දරිද්‍රතාවට පිළියමක් ලෙසත් අධ්‍යාපනික අවශ්‍යතා සඳහාත් ආගමික වත් පිළිවෙත් සඳහාත්, ජාතිය වෙනුවෙන් සේවය කළ අය සඳහාත් තමයි ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි එම අරමුදලේ අරමුණ. නමුත් ඒ අරමුදලේ අරමුණෙන් බැහැරව වෙනත් වෙනත් පුද්ගලයන්ට මුදල් දීලා තියෙනවා,” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය හෙළිකරයි
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, ජනාධිපති අරමුදලින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් අතර පහත නම් සඳහන් වේ:
පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී. දයාරත්න, එස්.සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ. ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, වීදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී. චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ දි.මු. ජයරත්න යන අය මෙම ලැයිස්තුවේ අඩංගු වේ.
වැඩිම මුදල් ලබාගත් පුද්ගලයින්
ජනාධිපති අරමුදලින් වැඩිම මුදල් ප්‍රමාණයන් ලබාගත් පුද්ගලයින් අතර:
- දි.මු. ජයරත්න – රුපියල් මිලියන 30
- රංජිත් සොයිසා – රුපියල් මිලියන 18.8
- එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – රුපියල් මිලියන 11.2
- කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් මිලියන 11
- රාජිත සේනාරත්න – රුපියල් මිලියන 10
- ජයන්ත වීරසිංහ – රුපියල් මිලියන 9
- ඩබ්.එම්.එස්. ෆොන්සේකා – රුපියල් මිලියන 5.5
- ටී.බී. ඒකනායක – රුපියල් මිලියන 4.8
- ජෝන් අමරතුංග – රුපියල් මිලියන 4
- විමලවීර දිසානායක – රුපියල් මිලියන 3
මෙම පුද්ගලයින්ට අමතරව, ජෝසප් මයිකල් පෙරේරා (මිලියන 2.7), ඇලෙක් අලුවිහාරේ (මිලියන 2.2), ලකී ජයවර්ධන (මිලියන 1.62), වීදුර වික්‍රමනායක (මිලියන 1.5), එස්.ඒ. ජගත් කුමාර (මිලියන 1), ජයලත් ජයවර්ධන (මිලියන 1), නාමල් ගුණවර්ධන (මිලියන 1), ධර්මදාස බණ්ඩා (මිලියන 1), පී. චන්ද්‍රසේකරන් (මිලියන 1.4), කේ.පී.එස්. කුමාරසිරි (මිලියන 0.9), සහ රංජිත් අලුවිහාරේ (මිලියන 0.8) ද සැලකිය යුතු මුදල් ප්‍රමාණයන් ලබාගෙන ඇත.
අධිකරණය විසින් දැන් ගෙන ඇති තීරණය අනුව, ජනාධිපති අරමුදලින් ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට නියෝග කර ඇත. මෙම ක්‍රියාමාර්ගය තුළින් ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකිරීමට මග පෑදෙනු ඇත.
රෝහල් අධ්‍යක්ෂවරුන්ට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට කර ඇති නියෝග වලින් පෙනී යන්නේ මෙම පරීක්ෂණය දේශීය සහ විදේශීය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොදාගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳව විමර්ශනය කිරීමට අපේක්ෂා කරන බවයි.
Saru FM Media