පළාත් රැසක් හිරු එළියෙන් උණුසුම් වෙනකොට තවත් පැත්තකට තද වැසි

0
8


ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවයි .

ඒ අනුව සෞඛ්‍ය අංශ මගින් දක්වා ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා .

මේ අතර හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ .

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු – මැද වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැ.කි.මී (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එහි සඳහන් .

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා

එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බවත් ඒ අනුව හෙට (12) දහවල් 12:11 ට ආඩියකුලම්, වෙප්පන්කුලම්, පදවිය සහ කුච්චවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here