පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමේ සන්ධානවලට අපි නෑ – පොහොට්ටුව රනිල් කැඳවූ සාකච්ඡාවට නොයයි !

0
4


සටහන – රුවන් නෙළුගොල්ල

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි අද (මැයි 15) පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂවල ලේකම්වරුන්ගේ සාකච්ඡාවට තමන් සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

“පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නෑ. මොකද අපි විශ්වාස කරනවා පක්ෂයක් හැටියට එවැනි සන්ධානයක් තුළින් මෙම බලය පිහිටුවීම සිදුකළ යුතු නැහැයි කියන කාරණය. අවශ්‍යතාවය වෙන්නෙ මෙහිදී අපි පක්ෂයක් හැටියට අපේ වෙනම ප්‍රතිපත්ති තියෙන, වෙනම ගමනක් යන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වෙනම ආකාරයේ පක්ෂ දෙකක්. අප අතරේ හුදෙක් බලය පිහිටුවීම සඳහා සන්ධානගත වීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ නිසා එවැනි තැනකට ලඝු වෙන්න අපි සූදානම් නෑ. අපේ අරමුණ ඊට වැඩිය පුළුල් අරමුණක්. මේ රටේ 2029 බලය පිහිටුවීම කියන අරමුණේ ආරම්භයක් හැටියට පමණයි අපි මෙය දකින්නෙ. ඒ නිසා අපි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙන් වෙන්ව ඒ ඒ පළාත් පාලන ආයතනවල ජනතාවගේ මතය සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ ජනතාවගේ මතයට ගරු කරලා අවශ්‍ය දේ කරනවා මිසක් අපි පක්ෂයක් හැටියට සන්ධානගත වෙලා බලය පිහිටුවන්න එකඟ වෙන්නේ නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජාතික ජන බලවේගයට අවස්ථාව දෙනවා කියන කතාවද ඔබතුමන්ලා කියන්නෙ ?

“නැහැ. ජාජබට ජනතාව විසින් බහුතරයක් මන්ත්‍රී ධුර ලබාදීපු පළාත් පාලන ආයතනවල ඔවුන්ට බලය පිහිටුවීමට කිසිම බාධාවක් නැහැනෙ. නමුත් බහුතරයක් පළාත් පාලන ආයතනවල මේ ජාජබ ආණ්ඩුවට විරුද්ධව දීලා තියෙන ඡන්ද ප්‍රමාණය තමයි බහුතරය. ආණ්ඩුවට විරුද්ධ සභික සංඛ්‍යාව තමයි බහුතරය වෙන්නෙ. ඉතින් එවැනි අවස්ථාවල ඒ ප්‍රදේශවල ජනතාවගේ බහුතර කැමැත්ත ආණ්ඩුවට විරුද්ධ වූ කැමැත්තක්. එවැනි ස්ථානවල අනිවාර්යයෙන්ම ආණ්ඩු පක්ෂයේ නොවන කණ්ඩායම් සමග බලය පිහිටුවීමට අවශ්‍ය සහයෝගය දෙනවා. නමුත් එය සන්ධානගත වීමක් හැටියට නෙවෙයි”

ශ්‍රී ලංකා පොදුජන පරමුණේ මහලේකම්වරයා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සබැඳි පුවත් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here