අපි කලින් කතා කළා පසු ප්‍රසව ආතතිය කියන රෝගය ගැන. හරි ප්‍රතිකාරයක් නොලැබුනොත් මේ රෝගය ටිකක් බරපතල තත්ත්වයක් වෙන්න පුළුවන් කියල අපි ඒ ලිපියෙන් පැහැදිලි කළානෙ. ඒකට හොඳම උදාහරණයක් තමයි මෑතකදී අහන්න ලැබුන මවක් විසින් තමන්ගේ වයස මාස හතරක් වුණු කිරි දරුවා ගෙල සිරකරල මරා දමපු සිදුවීම. හුඟක් දෙනෙක් අම්මගෙ දිහාට ඇඟිල්ල දික් කළාට වෛද්‍යවරු කියන විදිහට මේක පසු ප්‍රසව ආතතිය නිසා සිදුවුණ අවාසනාවන්ත සිදුවීමක්. ඒ වගේ සිදුවීම් අපිට මීට කලිනුත් අහන්න ලැබිල තියෙනවනෙ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි කියන්නෙ මව්පියන් වෙන්න ඉන්න අය වගේම අනිත් හැමදෙනාමත් මේ තත්ත්වය ගැන අවබෝධයක් අරගෙන ඉන්න එක ගොඩක් වටිනව කියල. දැන් ලෙඩේ ගැන දැනගෙන හිටියට විතරක්ම මදිනේ. ඒකෙන් ගැලවෙන හැටිත් දැනගන්නම ඕන. ඒ නිසා තමයි මේ අද කතා කරන පසු ප්‍රසව ආතතියෙන් මිදෙන්න පුළුවන් කොහොමද කියන එක වැදගත් වෙන්නෙ.
1. නිරන්තර ව්‍යායාම
මුළු pregnancy එක පුරාම දෙන්නෙකුට කිය කියා කාල ඔන්න බබා හම්බවෙනකොට අම්මගෙ බර අධිකව වැඩිවෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට. ඊට පස්සෙ කිරි දෙන්න ඕන කිය කියත් කනවනෙ ආච්චිලා ගෙනත් දෙන ඔක්කොම කෑම. මෙහෙම වැඩිවෙන බර ප්‍රශ්නෙටයි, ආතතිය ඇතිවෙන එකෙන් වැළකෙන්නයි කියන දෙකටම උදව්වක් මේ කියන්න යන්නෙ.
අලුත් බබාගෙ වැඩත් එක්ක ව්‍යායාම කරනව කියන එකනම් ලේසි නැහැ. ඒත් කරන්නම ඕන. සාමාන්‍යය දරු ප්‍රසූතියක් උනත්, සිසේරියන් සැත්කමක් උනත් ව්‍යායාම කරන්න ආරම්භ කරන්න පුළුවන් කොයි කාලෙදිද කියල වෛද්‍යවරයගෙන් උපදෙස් ගන්න පුළුවන්. ඉතින් ඩොක්ටර් කමක් නැහැ කියල කියපු ගමන් ව්‍යායාම කරන්න පටන් ගන්න ඕන දිනපතාම. අඩුමගානෙ දවසකට විනාඩි 10ක් වත් බබාව බලාගන්න ගෙදර අයගෙන් උදව් අරන් ව්‍යායාම කරන්න පොඩි වෙලාවක් වෙන් කරගන්න.
2. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්
ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන සෞඛ්‍යමත් ආහාර වේලකට හුරුවෙන්න. ඒක බර අඩුකරගන්නත් උදව්වක්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන් ආතතිය මඟහරවා ගන්නත් පුළුවන්. ඒ වගේම ඒක අම්මගෙයි බබාගෙයි දෙන්නගෙම ශරීර සෞඛ්‍යයටත් හොඳයිනෙ. අධික තෙල් සහිත, පිටි සහිත ආහාර නවත්තලම දාන්න. ඒවගෙන් ශරීරයට නරකක් මිසක් කිසිම හොඳක් වෙන්නෙ නැහැ.
3. තමන්ගේ නිදහස් වෙලාවක්
ගෙදර දොරේ අනිත් වැඩත් එක්ක පුංචි බබෙකුත් බලාගන්න එක ලේසි නැහැ. ඒකම හිතටයි ඇඟටයි දෙකටම ලොකු වෙහෙසක්, ලොකු පීඩාවක්. ඒ නිසා සතියකට සැරයක්වත් විශ්වාසවන්ත කෙනෙකුට බබාව බලාගන්න දීලා පොඩි වෙලාවක් ඔයා වෙනුවෙන්ම වෙන් කරගන්න. ඒ කිව්වේ ඔයා ආස තැනකට ඇවිදින්න යන්න, යාළුවෙක් එක්ක කෝපි කෝප්පයක් බොන්න යන්න, චිත්‍රපටියක් බලන්න යන්න, එහෙමත් නැත්තම් ජිම් එකට, ව්‍යායාම පන්තියකට හෝ යෝගා පන්තියකට යන්න වගේ දේකට.
4. විවේකයක්
පුංචි බබෙක් ඉපදුන අලුත අම්මට තාත්තට වැඩියෙන්ම අහිමිවෙන්නෙ නින්ද. විශේෂයෙන්ම අම්මට. ඒ නිසා ටිකක් විවේක ගන්නත් කාලයක් වෙන් කරගන්න. දවල් වරුවේ බබා නිදියන වෙලාවට අම්මටත් ටිකක් නිදාගන්න පුළුවන් වෙන්න කාලසටහන හදාගන්න. ඉඳල හිටලා දවසක බබාට කිරි දොවල තියලා බබාගෙ තාත්තට හරි, ආච්චි කෙනෙකුට හරි කිරි පොවන වැඩේ බාරදීලා රැයක් එළිවෙනකන් නිදාගන්න. ඇඟේ වෙහෙසට ඒක හොඳ බෙහෙතක්. ඊළඟ දවසේ උදේ ඉඳන් අලුත් අරම්භයකින් වගේ වැඩ කරන්න පුළුවන්.
5. තනිවෙන්න එපා
අපි තනියෙම ඉන්න වෙලාවට තමයි ඕන නැති විකාර අදහස් හිතට එන්නෙ. මම හොඳ අම්මෙක්ද, බබාට අනතුරක් වෙයිද වගේ දේවල් ඔය කාලෙට හිතෙන්න පුළුවන්. අපි පසු ප්‍රසව ආතතිය ගැන කලින් ලිපියෙන් කතා කළානෙ එහෙම ඇතිවෙන සිතුවිලි මේ ආතති තත්ත්වය ඇතිවෙන්න ලොකු හේතුවක් බව. ඒ නිසා හැකි තරම් බබාගෙ වැඩ එක්ක කාර්යබහුල වෙන්න. එහෙම නැති නිදහස් වෙලාවක් තියෙනවනම්, අනවශ්‍ය දේවල් කල්පනා වෙනවා කියල හිතෙනවනම් තනියම ඉන්න එපා. ගෙදර ඉන්න ඕනම කෙනෙක් එක්ක කතා කරන්න. කවුරුත්ම නැත්තම් කෝල් එකක් දීලා යාළුවෙක් එක්ක හරි කතා කරන්න.
6. මව්කිරි දීම
නවතම පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මව්කිරි දීම නිසා පසු ප්‍රසව ආතතිය ඇතිවෙන්න තියෙන අවදානම සෑහෙන්න දුරට අඩුවෙනව. මව්කිරි දීමෙන් අම්මගෙත් බබාගෙත් සම්බන්ධතාවය වැඩිවෙනව කියන එක අපි හැමදාම කියන කාරණාවකනේ. මුල්ම කාලෙදි වේදනාකාරී උනත් මව්කිරි දීම සතුටින්, ආදරෙන් කරන්න පුරුදු උනහම ඒකම ලොකු උදව්වක් අනවශ්‍ය සිතුවිලි ඇතිවෙන එක පාලනය කරන්න. අම්මටයි බබාටයි දෙන්නටම පහසු ක්‍රමයක් තෝරාගෙන විනෝදයෙන් කිරිදෙන එක කරන්න.
7. Fish Oil
ෆිෂ් ඔයිල් එහෙමත් නැත්තම් ඔමේගා 3 කියන පෝෂණ සංඝටකය ශරීරයේ අඩු උනහමත් මානසික මට්ටම අයහපත් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියලා වෛද්‍යවරු දැන් කියනවා. ඒ නිසා ශරීරයට ලබාගන්න මේ පෝෂණ සංඝටකය ගැනත් අවධානය යොමු කරන්න. පිටින් බොන පෙති වර්ගම ඕන නැහැ. අපි අසාවෙන් කන sea food ඒ කියන්නෙ මුහුදෙන් ගන්න මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ ආහාර වලිනුත් මේ ඔමේගා 3 අවශ්‍යතාවය සම්පුර්ණ කරගන්න පුළුවන්. මේ fish oil වලින් තවත් බොහොම සෞඛ්‍යමය වාසි තියෙන නිසා තමන්ගේ වෛද්‍යවරයාට කියලා අනුමත කරවාගෙන පෙති විදිහට පාවිච්චි කළත් ගැටළුවක් නැහැ.
The post පසු ප්‍රසව ආතතියෙන් මිදෙන හැටි appeared first on Lifie.LK.
Saru FM Media