පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලබයි.
නිශ්චිත කාල රාමුවකට අනුව, පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ සියලුම ක්ෂේත්‍රවලට සිදු වූ භෞතික හානි, ආර්ථික පාඩු සහ සමාජීය බලපෑම් පිළිබඳ දත්ත ක්‍රමානුකූලව රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඇගයීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජන ජිවිත, ඔවුන්ගේ ජීවනෝපායන්, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට දැඩි හානි සිදු වූ ‘ දිත්වා ‘ සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇති වී තිබෙන මූලික පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම ඊට අදාළ දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම, ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.
ක්ෂණික සහන සේවා කටයුතු නිම කිරීමෙන් අනතුරුව, ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ දිගු කාලීන නැවතගොඩ නැගීමේ කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකා වැඩසටහනට සමගාමීව ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන බවය.
මෙම කාර්ය සාධක බලකාය අනුකමිටු අටකින් සමන්විත වන අතර, ඒ අනුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ කමිටුව අනෙකුත් කමිටු අධීක්ෂණය කරන ප්‍රධානතම කමිටුව ලෙස කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
එහිදී නිශ්චිත කාල සීමාවක් තුළදී අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
සිදු වී ඇති හානි සහ අලාභ පිළිබඳ මූලික ඇස්තමේන්තු සකස් කිරීම, ප්‍රතිසාධන අවශ්‍යතා තක්සේරු කිරීම, සංවර්ධන ක්‍රියාවලිය සඳහා අදාළ පාර්ශ්වකරුවන් විසින් ලබා දිය යුතු සහයෝගීතාවයේ ස්වභාවය සහ ඒ අනුව ඇතිවිය හැකි සම්බන්ධීකරණ අභියෝග පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
ජාතික වශයෙන් ස්වභාවික ආපදා අවදානම් පිළිබඳ දැනුවත් කෙරෙන සහ එම ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි මෙන්ම, තිරසාර ප්‍රතිසාධන සැලැස්මක් සකස් කිරීමට හැකි වන පරිදි පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අන්තර් ආයතනික සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මෙම සාකච්ඡාව නිමාවට පත්විය.
Saru News










