පශු සම්පත් ක්ෂේත්‍රයට වෛද්‍යවරු ඇතුළු නව පත්වීම් – Saru News | සිංහල

0
9

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නවත පශු වෛද්‍ය නිලධාරීන්, පර්යේෂණ සහකාර හා පශු සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත පත්වීම් ලිපි සහ සේවා අනුයුක්ත ලිපි ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී පශු වෛද්‍යවරු 23 දෙනෙකු, පර්යේෂණ සහකාර නිලධාරීන් 04 දෙනෙකු සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල්කාන්ත දැක්වූ අදහස්,

“අද පත්වීම් ලබන ඔබට මේක විශේෂ අවස්ථාවක්. අපේ රාජ්‍ය සේවයට විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. අද මේ ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි, අත්‍යවශ්‍ය ස්ථානවලට අත්‍යවශ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් පුරප්පාඩුයි. සෑම රාජ්‍ය ආයතනයක්ම වගේ වැඩ කරන්නේ හිඟයක් තියාගෙන. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ මෑතකාලීනව විශාල හිඟයක් තියෙනවා. කාලයක් ආණ්ඩු ගත්ත තීරණ නිසා බඳවා ගැනීම් සිදු කළේ නැහැ. රටේ අභාග්‍ය සම්පන්න තත්ත්වය නිසා සැලකිය යුතු පිරිසක් රට තුළ ඉඳලා හරියන්නේ නැහැ කියලා රට අතහැරලා වෙනත් රටවලට ගියා. බුද්ධිගලනයක් සිද්ද වුණා. විශේෂයෙන් මෑතකාලීන ආර්ථික අර්බුදයත් සමඟ. ඒ නිසා රාජ්‍ය ආයතනවලට ජනතාවට හොඳින්ම සේවය සපයන්න අමාරු වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි තමයි වර්තමාන ආණ්ඩුව තීරණයක් ගන්නේ සියල්ලම සම්පූර්ණ කරන්න බැරි වුණත් යම් පමණකින් හෝ ක්‍රමානුකූලව සැලැස්මක් තුළ මේ ආයතනවල පුරප්පාඩු පුරවන්න ඕනේ කියලා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් මදි. පහසුකම් මදි. ඒ නිසා තමයි පහුගිය කාලයේ වැටුප් වැඩි කිරීමක් කළේ. ඒ නිසා පොඩි හරි සතුටක් ඇති. ඇත්තම කියනවා නම් අපේ ආර්ථිකය අනුව ජීවන මට්ටම අනුව අපි පිළිගන්නවා තවම හොඳ ජීවිතයක් ගත කරන්න වැටුප ප්‍රමාණවත් මදි. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා රට ගොඩනඟාගෙන ඊට සාපේක්ෂව වැටුප් වැඩි කරන්න. අපිටත් බයක් තියෙනවා ඔබත් මේ පත්වීම් අරන් යන්න යයි කියලා. ඒ නිසා ඉල්ලීමක් කරනවා යන්න නම් එපා. රට හදන්න නම් අපි හැමෝම එකතුවෙලා කටයුතු කරන්න ඕනේ.

රාජ්‍ය සේවයට චෝදනාවක් තියෙනවා. එක චෝදනාවක් තමයි වෙන් කරන මුදල් වියදම් කරන්නේ නැහැ කියන එක. අද රටේ කොච්චර ආයෝජකයෝ හිටියත් ප්‍රධානම ආයෝජකයා තමයි රජය. රජය විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. හැබැයි ඒ ප්‍රතිපාදන ජනතාව වෙනුවෙන් නිසි වේලාවට නිසි පරිදි මෙහෙයවන්න බැරි වෙලා තියෙනවා. ඒකෙන් ජනතාවට වෙන්න තියෙන සේවාවන් නොලැබී යනවා සහ රටේ සංවර්ධනයට බාධාවක් වෙනවා. ඕක අපේ රාජ්‍ය සේවයේ තියෙන අභියෝගයක්. අයවැයෙන් වෙන්කරන මුදල් යොදවලා ඒ මුදල්වලින් 90%ක් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදිහට මෙහෙයවගන්න අසමත් වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ කැපවීමේ ප්‍රශ්නයක් තියෙනවා. උදේට ඇවිත් අත්සන් කරලා කාලය ගෙවලා ගෙදර ගියාම රාජ්‍ය සේවය හරි. පෞද්ගලික අංශය එහෙම නැහැ. එයාලා ඉලක්කවලට දුවනවා. 

අපි රාජ්‍ය සේවය කාර්යක්ෂමව සකස් කරගෙන කටයුතු කළොත් රටේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ආර්ථිකය තමයි වැදගත්ම. අපි ආර්ථිකය වශයෙන් වැටිච්ච රටක්. ඒ නිසා අපි මේක ක්‍රමානුකූල සැලැස්මක් ඇතිව ඉදිරියට ගෙනයමින් සිටිනවා. ඔබ රස්සාවක් ලබා ගන්නවාට වඩා එහා ගිය ජාතික කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියන හැඟීම හැමතිස්සෙම තියාගන්න.

ඊළඟ කාරණය තමයි සෘජුවම ජනතාව සමඟ සම්බන්ධ වෙනකොට ජනතාවට යම් පිළිගැනීමක් ගෞරවයක් දෙන්න. අපි ඒක එක්තරා හොඳ මට්ටමකට ගන්න ඕනේ. යම් පිරිසක් නිසා රාජ්‍ය සේවය බාල්දු වෙලා තියෙනවා. ඒ නිසා තමුන්ට වගකීමක් තියෙනවා රාජ්‍ය සේවයේ ගෞරවය රකින්න. දේශපාලනය සහ රාජ්‍ය සේවය හදා ගත්තොත් රට හැදෙනවාම තමයි.”