පානීය ජල බෝතල් වැඩි මිලට විකිණූ වෙළෙඳුන්ගෙන් පසුගිය මාස 6 තුළ දඩ වශයෙන් රජයට රුපියල් ලක්‍ෂ තුන්සියයකට කිට්ටු ප්‍රමාණයක් අය කර ගැනීමට හැකිවී යැයි දැන ගන්නට තිබේ. පානීය බෝතල් සඳහා ආණ්ඩුව මෙයට මාස හයකට පමණ පෙර පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලදී. එයට හේතුව පානීය ජල බෝතල් විවිධ වෙළෙඳුන් විසින් විවිධ මිලට විකුණනු ලැබීමත්, තව ටික කලක් ගත වූයේ නම් පානීය ජල බෝතලයක් සහ කිතුල් පැණි බෝතලයක් අතර මිල සමාන වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබීමත් නිසා ය. පානීය ජලය ලීටරයක් නිෂ්පාදනය කිරීමට වැය වන්නේ ශත 35 කටත් අඩු මුදලකි. මෙහිදී සැලකිය මුදලක් වැය වන්නේ ප්ලාස්ටික් බෝතලය සඳහා ය. එයට ජලය පිරවීම, ලේබල් කිරීම, මූඩියට ප්ලාස්ටික් මුද්‍රාවක් යෙදීම වැනි කාරණා සඳහා තවත් පිරිවැයක් දැරීමට සිදුවෙයි. ඊට අමතරව එම බෝතල් දොළහේ හෝ විසිහතරේ තොග වශයෙන් ප්ලාස්ටික්වලින් ආවරණය කිරීමටත් බෙදාහැරීමටත් තවත් මුදලක් වැයවෙයි. කෙසේ වුවද දැනට රුපියල් සියයකට පමණ මිල නියම කර ඇති ජල බෝතලයකට වැය වන්නේ රුපියල් පනහකටත් අඩු මුදලකි. නිෂ්පාදක විසින් එම ජල බෝතල් එකක් රුපියල් හැත්තෑපහ බැගින් පමණ වෙළෙඳුන්ට ලබාදෙයි. වෙළෙන්දා එය එහි පාලන මිල වූ රුපියල් සියයට වික්කොත් රුපියල් විසිපහක ලාභයක් තිබේ. එහෙත් සමහරු මේ වතුර බෝතලය කූල් පෙට්ටියේ දමා රුපියල් 150 ට හෝ 200 ට විකුණති. වෙළෙන්දාට හෙණවැදීම පටන්ගන්නේ මේ කියන මොහොතේදී ය. ආණ්ඩුව වැඩි මිලට ජල බෝතල් විකුණන අය වටලා දඩ නියම කරන්නේ මෙසේ හෙණගෙඩි පහත්වීම වැළැක්වීමට බව අපගේ අදහස වේ.
ජලය පමණක් නොව වාතය ද කළුකඩ මිලට විකුණනු ලැබේ. උදාහරණයක් වශයෙන් කොරෝනාව පැවැති සමයේ දී කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 7000 ටත් විකුණන ලදී. සමහර තැන්වල රුපියල් 10,000 ටත් විකුණන ලදී. එබඳු දුර්ජන ගෑස් වෙළෙඳුන් එකකුටවත් හෙණ වැදුණු බවක් අපට ආරංචි වී නැත. ඊළඟට වැඩි මිලට විකුණන ද්‍රව්‍යය වන්නේ සහල් ය. කීරි සම්බා හිතු හිතූ මිලට විකුණනු ලැබේ. මේ වෙලාවේ දී ග්‍රෑම් 8 කැරට් 22 රන් පවුමක් රුපියල් ලක්‍ෂ හතරකි. කීරි සම්බා මිල බෙහෙවින් ඉහළ ගොස් ඇති නිසා එම සහල්වලට ද විශේෂ වටිනාකමක් ඇත. එබැවින් එම සහල් ලක්‍ෂ හතරේ පවුම් රත්තරන් මුදුවලට මැණික් වෙනුවට ද ඇල්ලිය හැකිය. මීට අමතරව ටින්මාළු වෙළෙඳපොළේ විවිධ මිලට විකිණේ. එකම ජාතියේ මැකරල් මත්ස්‍ය වර්ගය විවිධ ලේබල් සහිත ටින්වලට දමා විවිධ මිලට විකුණනු ලැබේ. කහ මිල ද එසේ ය.
මිරිස් ද කඩ දහයකට ගියොත් ගණන් දහයකි. මිල සඳහන් කර ඇති කිරි පිටි පමණක් වැඩි මිලට අලෙවි කිරීම දුෂ්කර ය. අනතුරුව අප කතා කරන්නේ බෙහෙත් ගැන ය. සෑම සතියකම බෙහෙත් මිල වෙනස් වේ. පෙත්තක් ශත දහයක් වූ අසාත්මිකතා නාශකයක් රුපියල දක්වා ඉහළ මිලකට විකිණේ. පෙත්තක් රුපියලක් වූ ඇතැම් වේදනා නාශකයක් රුපියල් දහය දක්වා ඉහළ මිලකට විකිණේ. රුපියල් 65,000 පිළිකා එන්නත රුපියල් දෙලක්‍ෂ විසිපන්දහසක් වූ කළු කඩ මිලකට අලෙවි කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්ව තිබේ. මෙය ආණ්ඩුවේ වරද නොව වෙළෙඳ විනය නමැති බරපතළ සාධකයේ වරදකි. විනයක් නැති වෙළෙන්දා කුණුම කුණු යකෙකි. මේ වෙළෙන්දා කල් ඉකුත් වූ ආහාර, අපිරිසිදු ආහාර, මිල වෙනස් කළ නිෂ්පාදන යනාදිය එක දිගට විකුණයි. මේ වෙළෙඳුන්ට දඩවලට අමතරව සිරදඬුවම් පැමිණවිය යුතුය. සිංහල රජ කාලයේ දී භාණ්ඩ වැඩි අගයට හුවමාරු කළ වෙළෙඳුන්ට කසපහර පවා දෙනු ලැබීය. අද මේ රටේ කසපහර දීමක් සිදුවුණොත් මිනිස් අයිතිවාසිකම් නොතැකූ රටක් හැටියට සලකා අපට ණය නොදී සිටීමට අයි.එම්.එෆ්. සංවිධානය පියවර ගන්නවා ඇත. අප හැම අතින්ම සිරවී සිටිමු. කූට වෙළෙන්දා අපගේ බෙල්ලම හිර කරයි. එවැනි හිර කිරීමක දී අපෙන් නික්ම යන අවසන් වාරැල්ල කළුකඩ මිලටවත් ලබාගැනීමට නොහැක.
Saru FM Media