විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
2026.01.09 දින පැවති රැස්වීමේදී අදාළ කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව පසුගියදා (22) පැවති කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත් සඳහා අනුමතිය හිමි විය.
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය.
මෙම රැස්වීමට ගරු කාරක සභා සමාජික මන්ත්‍රීවරුන් වන (නීතිඥ) තුෂාරි ජයසිංහ, චන්දන සූරියආරච්චි, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
Saru News








