ලංකාවේ ජනගහනයෙන් 83%ක්ම යාචක මානසිකත්වයකින් පෙළෙන බවත් පවුල් 43 ලක්ෂයක්ම අස්වැසුම ඉල්ලා ඇති බවත් සමාජ ආරක්ෂණ ඇමැති උපාලි පන්නිලගේ පවසා තිබේ. යාචක මානසිකත්වය යනු, හිඟන්නාගේ මොඩල් එකය. මේ මොඩල් එක තුළ සිටින මිනිසා හෝ පවුල නිකන් ලැබෙන ඩයිනමයිට් කරල පවා භාර ගනී. පාරේ යනවිට දිග පෝලිමක් තිබුණොත් කිසිවක් නොමිලේ බෙදන්නේ යැයි සිතා පෝලිමේ සිටගනියි. මේ යාචක මානසිකත්වය පුරුදු කරන ලද්දේ යටත්විජිත පාලකයන් විසිනි. වෙසෙසින්ම ලංකාව අවසානයට පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා මේ රටේ සිටින සිංහලයන් තම පා සෙවණේ බඩගානු දැක්මට ආසා කළේය. දැන් බ්‍රිතාන්‍යයට අත්වෙමින් පවතින්නේ ඔවුන්ගේ එකී පාපී මතවාදයේ ප්‍රතිඵලයන්ය. බ්‍රිතාන්‍යය මේ දිනවල ආර්ථික පැත්තෙන් කඩා වැටෙමින් පවතී. මිනිස්සු රජ පවුල ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන සිටිති. බකින්හැම් මාලිගය ටිකට් කඩා පෙන්වන තත්ත්වයකට ඒ රට පත්ව තිබෙයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ විසූ සිංහලයා උදැල්ලට වෛර කරන්නට පටන් ගත්තේය. ඔවුන් කුඹුරු දෙස බැලුවේ ලැජ්ජාවෙනි. එහෙත් සිය බත් පත දෙස මහත් ප්‍රේමයකින් බැලීමට ඔවුහු පුරුදුව සිටියහ. මේ සියල්ලෙහිම අවසානය වූයේ අත පය හොල්ලා වැඩ කිරීමට අකැමැති කම්මැළි ජාතියක් බිහිවීමය. මේ කම්මැළි ජාතිය 1948න් පසු දිගටම මේ රට පාලනය කරන ලද නමුත් කාටවත් සුගතියක් වී නැත. සිදුවී ඇත්තේ සියලුදෙනාටම ඉල්ලන් කන්නටය.
ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයකට වැඩි ජනගහනයක් සිටිති. රටේ සම්පත් සහ ධනයෙන් වැඩි කොටස පාලනය කරන්නේ ඉතාම ධනවත් පවුල් කීපයක් විසිනි. රුපියල් කෝටි 100ට වැඩි වත්කම් සහිත ජනයා මේ රටේ ඇත්තේ ඉතාම ස්වල්ප වශයෙනි. මෙකී ආදායම් සහ වත්කම් බෙදී යෑමේ විෂමතාව නිසා ලංකාව හිතින් දුප්පත් රටක් බවට පත්වී තිබේ. මේ නිසා තවත් වරදක් සිදුවිය. එනම් ධනය තිබෙන සුළුතරය කෙරෙහි ධනය නැති බහුතරය ඊර්ෂ්‍යා කිරීමය. මේ සුළුතරය සහ බහුතරය අතර ප්‍රශ්නය අප්‍රේල් කැරැල්ලට ද දරුණු ලෙස බලපෑවේය. 71 අප්‍රේල් මාසයේදී ජනතා විමුක්ති පෙරමුණ අවි අතට ගන්නේ නැතිබැරිකම නමැති සාධකය විසින් රටේ බහුතරය පෙළනු ලැබීම නිසාය. 1971දී ලංකාව ඉතා දුප්පත් ගැමි රාජ්‍යයකි. ඉන්දියාව හා සිංගප්පූරුව ද ඉතා දුප්පත්ය. එකල ඉන්දියාව දිළිඳු ආර්ථිකයක් සහිත අති විශාල ගැමි රාජ්‍යයක් වූ අතර සිංගප්පූරුව තිබුණේ දුප්පත් ධීවර ගම්මානයක් ලෙසය. එහෙත් අද සිංගප්පූරුව සිටින තැන සිතාගැනීමටවත් බැරි තරම් ඉහළය. එය දැනට ලෝකයේ ධනවත් රටවලින් එකකි. එසේම ලෝකයේ වඩාත් ම කාර්යක්ෂම වරායවලින් එකක් තිබෙන්නේ සිංගප්පූරුවේය. එකල ශ්‍රී ලංකාවේ රුපියලත් ඉන්දියානු රුපියලත් එක හා සමානය. අද ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ රුපියල මෙන් දෙකහමාරකි. ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා යම් ප්‍රමාණයකින් ධනවත්ය. එහෙත් ඒ රටේ ඒකපුද්ගල ආදායම හා ලංකාවේ ඒකපුද්ගල ආදායම අතර ලොකු වෙනසක් නැත. මෙයින් හැඟෙන්නේ ඉන්දියාව තුළ ද දිළිඳුකම තිබෙන බවයි. එහෙත් ඉන්දියානු ජනතාව තුළ අපේ තරම් යාචක මානසිකත්වයක් තිබේ ද යන්න සැක සහිතය. ඉන්දියානු ජාතිකයා ඉතා මහන්සි වී වැඩ කර මුදල් උපයයි. ඔවුහු පවුලේ අධ්‍යාපනය සහ පවුලේ රත්තරන් සංචිතය වෙනුවෙන් ධනය ආයෝජනය කරති. ඔවුන් වියදම් කරන්නේ ඉතා සකසුරුවම් ලෙසය. එහෙත් අපේ මිනිසුන්ට එවැනි සකසුරුවමක් නැත. ඔවුන් තවමත් වියදම් කරන්නට උත්සාහ දරන්නේ ස්වකීය බ්‍රිතාන්‍ය ස්වාමියා වියදම් කළ ක්‍රමයටය. ඒ නිසා ඉන්දියාවේ දිළිඳු ජනයාට අනාගතයක් තිබේ. අපේ දිළිඳු ජනයාට අනාගතයක් තබා වර්තමානයක් වත් නැත.
මේ රටේ ලොකුම හිඟන්නා දේශපාලනඥයා බව අපගේ වැටහීම වේ. මේ හිඟන්නා ඡන්දය හිඟාගෙන ඡන්දදායකයාගේ ගෙදරට ම එයි. තම ජයග්‍රහණය උදෙසා ජනතාවගෙන් කීයක් හෝ කඩා වඩා ගැනීමට හැකි නම් ඔහු එය කරයි. දේශපාලනඥයන් සතුව අති විශාල මුදලක් තිබේ. ඒවා හිඟාකෑමෙන් ඉපැයූ ඡන්ද අරමුදල් හෝ වෙනත් අයුතු ක්‍රමවලින් උපයාගත් ආදායම්ය. පසුගියදා මේ රටේ දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශනය ප්‍රසිද්ධ කරන ලද අවස්ථාවේදී බහුතර ජනයා යාචකයන් වීමට හේතු වූ කාරණය හෙළි විය. එනම් රටේ ධනයෙන් වැඩි කොටසක් ඔවුන් වෙත බෙදී ගොස් ඇත. නොඑසේ නම් ඔවුන් විසින් බෙදාගනු ලැබ ඇත.
මේ රටේ යාචක මානසිකත්වය නැති කිරීමට නම් ගමට සල්ලි යන ක්‍රමයක් තිබිය යුතුය. එහෙත් ගමට සල්ලි යන්නේ නැත. සල්ලි යන්නේ නගරයට පමණි. මේ නිසා අපි හැමදාමත් හිඟන්නෝ වෙමු. (ඡන්ද කාලවල ගෙයින් ගෙට පැමිණ යාචක මානසිකත්වයෙන් ඡන්දය ඉල්ලූ ඇතැම් දේශපාලකයන් කරපු ඇවිටිලි හා අද කරන කතා ගැන තවත් දවසක අපි කතා කරමු.) හිඟන අපි හිඟන විදිහට කල්පනා නොකර වෙන කවර ක්‍රමයකට කල්පනා කළ යුතුද?
Saru FM Media











