“නොරොච්චෝලෙට ගෙනා තුන්වැනි ගල්අඟුරු නැවත් බාලයි” 

0
9

නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වා ඇති තුන්වැනි ගල්අඟුරු නැවේ ගල්අඟුරුත් ප්‍රමිතියෙන් තොර බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.

ඒ මහතා ඊයේ (25) පොලොන්නරුවේදී මාධ්‍ය වෙත කියා සිටියේය.

ජනවාරි 21 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කළ මෙම වාර්තාවට අනුව තුන්වැනි නැවේ ගල්අඟුරු තොගවලත් ප්‍රමිතිය නොමැති බවත් වෙනදා ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකකින් මෙගාවොට් දෙසිය හැත්තෑව බැගින් මෙගාවොට් අටසිය දහයක් විදුලිය ජනනය කළ ද තුන්වැනි නැවේ ගල්අඟුරු වලින් ජනනය කර ඇත්තේ මෙගාවොට් හත්සිය පහළොවක් පමණක් බවත් ඔහු මෙහිදී පැවසුවේය. 

ඒ ජනන යන්ත්‍ර තුනෙන් මෙගාවොට් 240, 239, 236 බැගින් බව ද හෙතම වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසුවේය.

‘‘ඉන්දියානු සමාගමකින් ආනයනය කර ඇති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව අප කියද්දී ආණ්ඩුව, විශේෂයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළා. පළමු ගල්අඟුරු නැවේ ගල් අඟුරුවල ජනන ශක්තිය අඩු බව සහ එහි අළු ප්‍රතිශතය වැඩි බව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අනුබද්ධ රජයේ රසායනාගාරය වාර්තා කළ පසුවවත් එය පිළිගත්තේ නෑ. එහි සාම්පල සඳහා දෙවැනි පරීක්ෂණයක් ඉන්දියාවේ රසායනාගාරයක කළා. එම රසායනාගාර වාර්තාවත් ලංකාවේ වාර්තාව තහවුරු කළා. ඉන් පසුව ආණ්ඩුව ලංකාවේ රසායනාගාර වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමේ අත්තනෝමතික තීරණයක් ගත්තා. නමුත් රසායනාගාර වාර්තා සැඟවුවත් අවසානයේ බලාගාරය ජනනය කරන විදුලි බලය සහ එයට භාවිතා වූ ගල් අඟුරු ප්‍රමාණය මත ප්‍රමිතිය සොයා ගන්න පුළුවන්.

එමනිසා තුන්වැනි නැවේත් ගල් අඟුරු ප්‍රමිතිය බාල බව පැහැදිලියි. ටෙන්ඩර් ගිවිසුමට අනුව නැව් දෙකක තොග ප්‍රමිතියෙන් අසමත් වුණොත් ඇණවුම අවලංගු වෙනවා. අපි ගිය වසරේ සැප්තැම්බර් සිට කියන කරුණු නොඇසූ කන්ඇතිව සිටි ආණ්ඩුව අද සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබෙනවා ප්‍රමිතිය බාල වීමේ ප්‍රශ්නය පිළිගන්නා බව. ඒ සඳහා විකල්ප දෙකක් යෝජනා කර තිබෙනවා. ස්ථානීය හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සහ ගල්අඟුරු පටවන වරායේදී පරීක්ෂා කර, ප්‍රමිතියෙන් බාලනම් ප්‍රතික්ෂේප කිරීමට. මේ තීරණ කලින් ගත යුතුව තිබූ ඒවා. දැන් ප්‍රමාද වැඩියි. ඉදිරි වසරටම අවශ්‍ය ගල් අඟුරු ගොඩබෑමට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනකට අඩු කාලයක්. අප්‍රේල් වාරකන් පටන් ගන්නවා.

මේ ටෙන්ඩර් පටිපාටිය සැක සහිතයි. ටෙන්ඩරය කැඳවීම මාස තුනක් ප්‍රමාද කළා. මේ සමාගමට ලියාපදිංචිය දුන්නේ ඒ අතර. මේ සමාගමට ගැළපෙන පරිදි ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා. ටෙන්ඩර් කාලසීමාව සති හයේ සිට තුනට අඩු කළා. එතකොට කිව්වේ හදිසියි කියලා. එහෙම කිව්වට ටෙන්ඩරය ප්‍රදානය කරන්න සති හයක් ගත්තා. මේ සමාගම සතොසට සහල් ආනයනය කර වංචා චෝදනාවලට ලක්වූ සමාගමක්. මේ සමාගමේ හිමිකරුවා ඉන්දියාවෙන් මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ කෙනෙක්. මේ සමාගමේ දේශීය නියෝජිතයාත් වංචා ගැන චෝදනා ලැබූවෙක්. මේ තරම් පැහැදිලි චෝදනා තිබියදීත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ සමාගම වෙනුවෙන් මෙපමණ පෙනී සිටින්නේ ඇයි? අපි දිගින් දිගටම කියනවා ජනාධිපතිතුමා මැදිහත් වී අපක්ෂපාතී විමර්ශනයක් කරන්න. මේ විෂමාචාරවල පාඩුව විදුලි බිල හරහා ජනතාව මත පටවන්න එපා. වගකිවයුත්තන්ගෙන් අලාභය අය කර ගන්න. හොරු ආරක්ෂා කරන්න එපා.’’

📌 සබැඳි පුවත් :

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here