සෑම මවකගේම පියෙකුගේම එකම පැතුම නිරෝගී දරු සම්පතක් වුවත් මවට හෝ කලලයට ඇති විය හැකි සංකුලතා හේතුවෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව අපි හොඳින් දන්නවා. දරුවෙකු කුස පිළිසිඳි මොහොතේ සිට මෙලොවට බිහිවන තෙක් සති හතලිහක කාලයක් පුරා ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය සිදුවේ. නමුත් මවගේ හෝ කලලයේ ඇතැම් සංකූලතා හේතුවෙන් මව් කුස තුළ සිටිය යුතු කාලසීමාව සම්පූර්ණ වීමට පෙර එනම් සති 37 ට පෙර බිහිවන දරුවන්ද සිටිනවා.
මව්කුස තුළ නියමිත දින ගණන සම්පූර්ණ නොකරන ළදරුවන් කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය
නොමේරූ ළදරුවන් – සති 32 ත් සති 37 ත් අතර උපදින දරුවන්
ඉතා නොමේරූ ළදරුවන් – සති 32 ත් සති 28 ත් අතර උපදින ළදරුවන්
අතිශය නොමේරූ ළදරුවන් – සති 28 ට පෙර උපදින ළදරුවන්
මේ ආකාරයට සිදුවන නොමේරු දරු උපතකදී එම දරුවන්ගේ අවයව නිසි අයුරින් සැකසී නොමැති නිසා ඔවුන් යොමු කෙරෙන්නේ දැඩි සත්කාර ඒකකය වෙතටයි. මෙසේ උපත ලබන ළදරුවන් නොයෙක් ආකාරයේ සන්කුලතාවලට ලක්විය හැකි අතරම ඔවුන්ගේ ජිවිතයද අස්ථිර තත්ත්වයේ පවතී.
නොමේරු ළදරුවෙකු රැගෙන රෝහලෙන් පිටව යාමට පෙර විශේෂයෙන්ම බර 1500g ට අඩු සහ සති 34 අඩු දරුවන් අක්‍ෂි මෙන්ම ශ්‍රවණ පරීක්‍ෂාවන්ට යොමු කරයි. ඔක්සිජන් ලබාදීම හේතුවෙන් මෙවැනි දරුවන් අක්ෂි අබාධවලට ගොදුරු විය හැකි නමුත් මුල් අවධියේදීම මේ තත්ත්වය හඳුනා ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සුව තත්ත්වයට ගෙන ඒමටත් අන්ධ බවට පත්වීම වළක්වා ගැනීමටත් හැකිය. එසේම රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙන උපදෙස්වලට අනුව යමින් අවශ්‍ය සායන සඳහා සහභාගී වීමට මව්වරුන් උනන්දු විය යුතුය.
මෙවැනි දරු උපතකදී වැඩි කාලයක් රෝහලේ සිටීමට සිදු වන අතරම නිවසට යැවීම තීරණය වන්නේ ළදරුවාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම කිරි උරා බීමේ හැකියාව සහ ළදරුවාගේ බර මෙන්ම මවට ළදරුවා රැක බලාගැනීමට හැකි තත්ත්වයට පත් වූ පසුවයි. කෙසේ වුවද මෙවැනි දරු උපතකින් පසු මවකගේ මානසික තත්ත්වය යම්තාක් දුරට දුර්වල විය හැකි නිසා සැමියාගේ මෙන්ම නෑ හිත මිතුරන්ගේද උපරිම සහයෝගය සහ අවධානයත් ආදරයත් මවකට අත්‍යවශ්‍යය.
Saru FM Media