නුවන්ගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධත්වය

0
4

2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත  “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දුනි.

මෙම පැමිණිල්ල අද (09) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතා සමග පෙනී සිටි නීතිඥ කාංචන පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු ඉල්ලීම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක  භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද , ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නම් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පැමිණිල්ල තුළින් පැමිණිලිකරු කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී ඇති බවත් එම ගිවිසුම පසුගිය මාර්තු මස 31 වන දා කල් ඉකුත් වීමට නියමිත බවය.

තමන් මීට පෙර ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග වලට සහභාගි වී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සමඟ ගැටුමක් ඇති නොවන ආකාරයට එම තරගවලට සහභාගී වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

2024 සහ 2025 වසර වල තමන් “රොයල් චැලෙන්ජස්” කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කරයි.

එම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමන්ට 2024 සහ 2025 වසරවල “විරෝධතාවයක් නොමැති බව” දැක්වෙන සහතිකය නිකුත් කළ බව සඳහන් කළ පැමිණිකරු එවැනි සහතිකයක් නොමැතිව තමන්ට අදාළ තරගාවලියට සහභාගි විය නොහැකි බවත් පෙන්වා දුනි.

එහෙත් 2026 වසරේ පැවැත්වීමට නියමිත එම තරගාවලියට සහභාගි වීම සඳහා විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළත් එම ඉල්ලීම ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බවයි පැමිණිලිකරු චෝදනා කරයි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සතුටුදායක ලෙස සමත් නොවීම හේතුවෙන් මෙම අවස්ථාවේදී විරෝධතා නොමැති බව සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කර ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝග්‍යතා තක්සේරුව සමත් වීමට අපොහොසත් වූ බව සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව කී පැමිණිලිකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම ඉකුත් මාර්තු 31 වන දින කල් ඉකුත් වීමට නියමිත බවත් පැවසීය.

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කිරීමට පැමිණිලිකරු අදහස් කළ බව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග තවදුරටත් ගිවිසුමකට එළඹෙන්නේ නැති බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය යටතේ අදාළ සහතිකය නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම කල් ඉකුත් වී තිබියදී මේ ආකාරයෙන් අදාල සහතිකය නිකුත් නොකිරීම නීති විරෝධී බවත් පැමිණිකරු චෝදනා කළේය.

ඒ අනුව 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගිවීම සඳහා හැකිවන පරිදි විරෝධතාවක් නොමැති බව සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනිවාර්ය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here