මේ සතිය ආරම්භ වූයේ රටම කම්පාවට පත් කළ කඩුගන්නාව පිළිබඳ දුක්මුසු සිදුවීම් හා මහ වැසි කුණාටු පිළිබඳ පුවත් සමගය. ඒ බොහෝ විපත්වලට හේතුව ද අවිධිමත් හෝ අනවසර ඉදිකිරිම් බවද පෙනේ. කුමක් වුවත් එබඳු අනතුරු වළක්වා ගැනීම සඳහා ලබාදෙන උපදෙස් පිළිබඳව වුවද නොතකා හැරීමේ නරක පුරුද්ද සමාජයෙහි තිබේ. මෙහිදීත් වාර්තා වූයේ අදාළ අංශ විසින් කරන ලද අනතුරු ඇඟවීම් නොතැකීම ඒ ඛේදවාචකයට මුල් වූ බවය. විපතට පත් පවුල්වලට අපගේ සංවේගය ද එක් කරන්නෙමු. මේ වනවිටත් ප්‍රාදේශීය සභා නම් බල අරගලයකට මැදිවී සිටින බවද පෙනී යයි. ඇත්තටම ඒ ඒ ප්‍රදේශවල මාර්ග ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් සම්බන්ධයෙන් එබඳු ආයතනවලට ද යම් යම් මැදිහත්වීම් කළ හැකිය. එහෙත් මේ ප්‍රාදේශීය සභාවල මහජන සේවාවන් පැවැත්වීමට හෝ පොදු කටයුතුවලට වඩා වැදගත් හා ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ ද දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීම බවද පෙනේ.
මෙහිදී මේ වනවිටත් ප්‍රශ්නකාරී සිදුවීමක් බවට වාර්තාවන වාලච්චේන ප්‍රාදේශීය සභාවේ මෙහෙයීමෙන් සිදුවන ක්‍රියාන්විතය සඳහන් කළ හැකිය. මේ සභාවට මහා බරක් වී ඇත්තේ එහි වළලා සිටුවා තිබෙන පුරාවිද්‍යා භූමි පිළිබඳ නාමපුවරුය!. මේ පිළිබඳව පොලිස් විමර්ශන සිදුකෙරෙන බව ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මාධ්‍යවලට ද පවසා තිබුණි. එහෙත් මේ මුග්ධ ක්‍රියාව පතුලේ ජාතිවාදී විෂබීජත් තිබෙන බව සමහරුන්ගේ ප්‍රතිචාරවලින්ම පෙනේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් පවසා තිබුණේ නීතිය ක්‍රියාත්මක කරන බවය. එසේම ඇමැතිවරයා විසින් මෙයට අදාළ එම වාලච්චේන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නම් ද ඉදිරිපත් කර තිබුණි. අප අවධාරණය කරන්නේ ද මෙය නොදැන හෝ අතපසුවීමකින් කරන ලද්දක් නොව මේ ආණ්ඩුවට රටේ පවතින නීතියට එල්ල කළ අභියෝගයක් බවය. මහජන නියෝජිතයන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගන්නා අන්තවාදීන් හැමදාමත් කළේ මේ රටට ගිනි තබන දුෂ්ට ක්‍රියාකාරකම්ය.
ත්‍රිකුණාමලයේ ඇවිළීමට ගිය ගින්න නිවා දැමූ ජනාධිපතිවරයාට දැන් මේ ජාතිවාදීන්ගේ ප්‍රතිචාර හඳුනාගැනීම අසීරු නැත. වර්ධරාජා පෙරුමාල් පන්නයේ දේශපාලන චරිත වාලච්චේන සභාවේ සිටිත්දැයි වෙනම විමර්ශනයක් කළ යුතුය. මේ සිද්ධිය වර්ගවාදයට රුකුල් දෙන නීච ක්‍රියාවකි. මෙය දැන්ම වළක්වා ගත නොහැකි වුවහොත් රටම යළි ජාතිවාදීන්ට පිනුම් ගැසිය හැකි භූමියක් වන බවද යුක්ති ගරුක පුරවැසියෝ පවසති. මේ සතියේදී ලන්ඩනයේදී හා කැනඩාවේදී සිදුවූ කොටි ක්‍රියාකාරකම් දෙකක් ගැන ද වාර්තා විය. ඊළාම්වාදීන්ට යටවූ කැනඩාව ගැන අපට ඇත්තේ සංවේගයකි. උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ටත් ප්‍රභාකරන්ටත් අනුබල දුන් රටවල් ලෙස කැනඩාවට මෙන්ම බි්‍රතාන්‍යයට ද චෝදනා තිබේ. ඒ චෝදනා පත්‍ර යළි සඳහන් කළ යුතු නැත. දෙමළ ඊළාම් ධජ දිනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බ්‍රැම්ප්ටන් නගරාධිපති පැටි්‍රක් බවුන් දෙමළ ඊළාම්වාදීන්ගේ වීරයකු විය හැකිය. එහෙත් ඔහු මේ යළි පණපෙවීමට සැරසෙන්නේ ලංකාව පරාජයට පත්කළ ඊළාම්වාදී ත්‍රස්තවාදයට බව අප පෙන්වා දිය යුතුය. ලන්ඩනයට ගිය ජවිපෙ ලේකම් ටිල්වින්ට ද ඒ කොටි ගෙරවීම් ඇසුණු බව මෙරටේ මාධ්‍යවල ද වාර්තා කර තිබුණි.
ජනාධිපති අනුර කුමාර මෙරටේ ජාතිවාදයට ඉඩ නොදෙන බව රටම දනිති. පුළුල් ජාතික සමගියක් සඳහා වූ ලංකා දින සැමරුමක් සඳහා දෙමළ, මුස්ලිම් නායකයන් සමග නිල හමුවක් ද ජනාධිපතිවරයා පවත්වා තිබේ. මේ ජාතිවාදි කෙපරබෑම්, කෙඳිරිලි මුග්ධ ප්‍රතිචාර එවන් පසුබිමක මතුවීම ද අවධානයට ගත යුතුය. වාලච්චේන සභාපති හා ඔහුගේ නඩය පුරාවිද්‍යා සැමරුම් පෙන්වන නාමපුවරු බලයෙන් ගලවා ගෙන යෑම අප තේරුම් ගත්තේ නම් අමන තකතීරු වැඩක් ලෙසය. එහෙත් එය ඊළාම් පෙරහැරේ කසකරුවන්ගේ ප්‍රතිචාර්යකැයි පවසන්නෝ ද සිටිති. පොලිස් ඇමැතිවරයා මෙන්ම සංස්කෘතික ඇමැතිවරයා ද මේ අධම ක්‍රියාවලට ඉඩ නොතබන බවට සහතික වී සිටිති. එය එසේම විය යුත්තකි.
මේ අතර තවමත් මාධ්‍යවල මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයෙහි ද සංවාදයට ලක්වී තිබෙන නුගේගොඩ – විපක්ෂ කණ්ඩායම්වල (සජබය හා තවත් පක්ෂ කීපයක් ද එක් වූයේ නැත) මහා ජනහමුව ගැන ද විමසා බැලිය යුතුමය. මේ රැලියට එක්ව සිටි පිරිස හා සංඛ්‍යාත්මක දත්ත ආදිය අපට අදාළ නැත. එසේ වුවද එදා නුගේගොඩට සෑහෙන පිරිසක් එකතු කරගැනීමට එහි සංවිධායකයන්ට හැකිවිය. මෙම රැලිය සම්බන්ධයෙන් ඒ පක්ෂ අභ්‍යන්තරයෙහි ඇති වී තිබෙන අපට – රටට නොඇසෙන චෝදනා විවේචන පත්‍ර ද තිබේ. එජාපයේ හරින් ප්‍රනාන්දු විසින් පොහොට්ටුවේ ප්‍රමුඛ චරිතය ලෙස ගොඩනැඟෙන නාමල්ව හැඳින්වීමට නාමල් කුමාරයා යන විශේෂණය යෙදීම ගැන ද සමහරු කනස්සල්ලට පත්ව සිටිත් ලු. එහෙත් මේ මහා ජනහමුව සජබය මඟහැරියේ එයින් පොහොට්ටුව පිබිදීමට ලැබෙන වාසිය පිළිබඳ අවබෝධයකින් බවද නිසැකය.
අපගේ කියවීම් අනුව මේ වනවිට විපක්ෂයේ සිටින ප්‍රමුඛ චරිත වන්නේ සජබගේ සජිත් හා පොදුජන පෙරමුණේ නාමල්ය. නුගේගොඩ එදා වේදිකාවේ අසුන්ගෙන සිටි අයගෙන් බහුතරයක්ම පොදුජන පෙරමුණෙන් ඉවත් වී සිටි අය වෙති. පසුගිය මහ මැතිවරණවලදී ඔව්හු වෙන වෙන පක්ෂවලට එක්ව සිටි අය වූහ. දැනට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනය ඇත්තේ සජබයටය. එහි නායක සජිත් විපක්ෂ නායකයා ද වේ. සජබය හා එජාපය සමගිව එන බවට කෙබඳු සහතික අපේක්ෂා ජනතාවට ලබා දුන්නත් එය කාරියකෙරෙන තෙක් රැවටිල්ලකැයි සිතෙන බවද විටෙක සිතේ. එජාපය අතනොහැර යන රනිල්ගේ දේශපාලන අභිලාෂය කිසිවෙක් නොදනිති. මේ ප්‍රශ්නය මෙතරම් වටවංගු ගැසෙමින් ඇදීයන්නේ ද එජාපය බදාගෙනම සිටින රනිල් නිසා බවට ද විවේචනයක් තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ගෑස් සිලින්ඩරයෙන් තරග කළ රනිල් හිතවාදීන්ට ලැබුණු ප්‍රතිචාරය ඉතා පැහැදිලිය. එය හිමිවූ ජාතික ලැයිස්තු ධුර පත්වීම් සම්බන්ධයෙන් ද රනිල්ට කළ හැකි කිසිවක් තිබුණේ ද නැත. සජබය ඉතා පැහැදිලිව ඔවුන් අබිබවා ඉදිරියට පැමිණි පක්ෂයකි. එයට පැහැදිලි ජනවරමක් ද ඇත. ප්‍රාදේශීය සභාවලින් එජාපයට වඩා ඉදිරියෙන් සිටීමට සජබයට හැකි විය. එහෙව් පක්ෂයක් යළි එජාප වලිගයක් කිරීමට දේශපාලනය දන්නා සජිත්, පසුබැසීම ද නිවැරදිය. කෙසේ හෝ සමාජ මාධ්‍යයක දැක්වුණේ එජාප ලේකම් තලතාට හිඳගැනීම සඳහා පිටතින් පුටුවක් රැගෙන ආ රූපරාමු පෙළකි. අසුන්වල සිටි කිසිවෙක් ඇයට ඉඩ නොදීම නිසා එය සිදුවන්නට ද ඇත. මේවා සුළු සිදුවීම් විය හැකිය. එහෙත් ඒ වගේ දේශපාලනය බරපතළය.
නුගේගොඩ ජන හඬ ආණ්ඩුවට ප්‍රබල දේශපාලන බලපෑමක් නොකළ බවද අපට හැඟේ. එහෙත් ආණ්ඩුවේ මෝඩ අනුගාමිකයන්ගේ ප්‍රතිචාරවලින් පෙනී යන්නේ ඔවුන් තවමත් එදා ඔවුන්ගේම විවේචනයට ලක්වූ දේශපාලන කුඩුකේඩුකම් එදා වගේම සිදුකළ බවය. නුගේගොඩ දක්වා එන මාර්ගවල තණකොළ මිටි එල්ලා තිබුණු අයුරු රූපවාහිනි නාළිකාවලින් ද අපි දිටිමු. දේශපාලනය අවිචාරශීලීව කරන කාටත් තණකොළ සුදුසුය. එහෙත් මෙරටේ විපක්ෂවලට ඡන්දය දුන් අය හෝ දෙන අය සියල්ලෝම ගවයෝදැයි කිව හැකිද?
රාජපක්ෂ කඳවුරෙන් බිඳී ගොස් නැවත ඒ කඳවුරට එකතු වන අය ගැන දේශපාලන විවේචනයක් අපට ද තිබේ. එහෙත් ඔවුන්ගේ දේශපාලනයට ප්‍රතිචාර දැක්විය යුත්තේ ප්‍රබුද්ධ විලාසයකින්ය. මෙම තණකොළ ප්‍රතිචාරය ගැන පක්ෂවලට අයත් නොවන හිමිනමක් කී කතාව කාටත් වැදගත්ය. එයින් කියැවුණේ, බුදුන් වහන්සේට නිර්දය ලෙස අවමන් කළ බමුණකුට බුදුන් වදාළ වචන කීපයකි. බමුණ ඔබ කාට හෝ සංග්‍රහයක් කළ විට ඔහු එය නොපිළිගතහොත් කරන්නේ කුමක්ද? බුදුහු විමසූහ.
මම එය ආපසු රැගෙන යමි. බමුණා කීවේය.
බමුණ! එසේ නම් මේ කිසිවක් මම භාර නොගන්නෙමි. ඔබට රැගෙන යා හැකිය. බුදුහු වදාළහ.
මේ තණකොළ ප්‍රතිචාරය දැක්වූ ගොන්වහන්සේලා දේශපාලන වහලුන් විනා අලුත් දේශපාලන සංස්කෘතියකට නොහොබිනා අය බව අමුතුවෙන් කිව යුතු නැත. මේවා එදා පැවති ගර්හිත දේශපාලන සංස්කෘතියේම අශිෂ්ට ක්‍රියාකාරකම්ය. මේ ආණ්ඩුව ඒ දේශපාලන මඩ තවරා නොගත යුතුය.
දේශපාලනය ප්‍රබුද්ධ මහජන හිතවාදී ව්‍යාපාරයක් ලෙස පුනරුත්ථාපනය කිරීම මේ ආණ්ඩුවේ පොරොන්දුවකි. ඒ සඳහා බුද්ධිමත් දායකත්වයක් දිය හැකි කණ්ඩායමක් ආණ්ඩුව ඇතුළේ මෙන්ම පිටතද සිටිති. එය වෘත්තීය හා උපාධි සහතිකය මත පදනම් වූවක් ද නොවේ. දේශපාලනයේ ද ප්‍රතිවාදීන්ට උත්ප්‍රාසනීය ප්‍රතිචාර දැක්වීම ද කලාවකි. ඒ කලාව දත් අය මෙරටේ ද වූහ. මේ එබඳු කතාවකි. වෙනත් රටකිනි.
පාලක පක්ෂයේ විවාදිතයකුට අවමන් කිරීමට නැඟීසිටි විපක්ෂයේ කථිකයා කීවේ ඔබගේ දේශපාලනය අවසන් වන්නේ එල්ලුම් ගහෙන් හෝ සමාජ රෝගියකු ලෙස බවය. එයට ප්‍රතිචාර දැක්වූ කථිකයා කීවේ ඔබ කීවේ සැබෑවකි. මා ඔබේ පක්ෂයේ ප්‍රතිපත්ති පළිගතහොත් මට හිමි වන්නේ එල්ලුම්ගහය. මා ඔබේ බිරිඳ වැලඳගතහොත් මට සමාජ රෝගියකු වීමට සිදුවනු ඇත. විවේචකයා බිම බලාගෙන සභාවෙන් පිටවී ගියේය. දේශපාලනය එබඳු විදග්ධ සමාජ මැදිහත්වීමක් බව මෙරටේ දේශපාලන වහල්ලු නොදනිති. ඔවුන් දැන උගත් දේවල් ද නැත. වාචාලකම් හා අශිෂ්ට ක්‍රියාකාරකම්වලට කප්පිත්තෝය. වචීපරම දේශපාලනඥයන්ට අවම සදාචාරය හෝ නොමැති බවට අපේ රටෙන් ඕනෑතරම් නිදසුන් ද සොයා ගත හැකිය. ඒ බොහෝ දෙනකුගේ චර්යාවන් මෙන්ම දේශපාලන විවේචන, දැක්වෙන ප්‍රතිචාර කෙතරම් අවර ගණයේ ද විටෙක සිතේ. එසේම මෙරටේ ද එබඳු උත්ප්‍රාසය හඳුනාගත් දේශපාලන චරිත සිටි බවද කිව යුතුය. දේශපාලනය ප්‍රබුද්ධ ජනතාවාදී ව්‍යාපාරයක් කරගත හැක්කේ උගත්, බුද්ධිමත් පිරිසක් අතට එය පත්වීමෙන් පමණි.
අවසන් වශයෙන් අවධානය යොමු කළ යුතු තවත් මාතෘකාවක් ද සමාජගත වී තිබේ. ඒ මාධ්‍ය නිදහස අරබයා වූවකි. ඒ, පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව අදාළ පුවත්පත් කතුවරයා සීඅයිඩී එකට කැඳවීම ගැනය. වරප්‍රසාද භාවිත කරමින් මාධ්‍යවේදීන් අපහසුතාවට, බිය ගැන්වීමට පත්කිරීමේ සිදුවීම් අලුත් ඒවා නොවේ. එදත් සිදුවිය. මේ ලියුම්කරුට ද වරක් පුවතක් නිසා වරප්‍රසාද කමිටුවක් ඉදිරියට යෑමට සිදුවිය. එය සමථයකට පත්කර ගැනීමට එදා විපක්ෂය දායක විය. තවත් වරෙක ‘දිවයින’ ප්‍රධාන කර්තෘව සිටි එඩ්මන්ඩ් රණසිංහ අධිකරණය ඉදිරියට ද රැගෙන ගියේය. එදත් සිද්ධිය දුරදිග ගියේ නැත. ඒ, පුවත් පළ කළේ ප්‍රාදේශීය වාර්තාකරුවන් කෙරෙහි වූ විශ්වාසය මත පදනම්ව බව ගරු විනිසුරුවරු ද පිළිගත්හ.
මේ ආණ්ඩුවේ මාධ්‍ය පිළිවෙත ද මෙයට පෙර තිබුණු ආණ්ඩුවලම දිගුවකි. රාජ්‍ය මාධ්‍යවල ඔවුන්ගේ පත්වීමය. කලා, සාහිත්‍ය ඇතුළු හැම ආයතනයකම පත්වීම් එබඳුය. මහින්ද, රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී ආදී හැම යුගයකම එය පවත්වාගෙන ගොස් ඇත. මේ ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍යවල ස්වාධීන අදහසක් දරන අයට ඉඩ නොදෙන බවද මගේ අත්දැකීමක් මත පදනම්ව සඳහන් කළ හැකිය. කිසියම් මාධ්‍ය කලාවට සම්බන්ධ සාකච්ඡාවකට එන ලෙස මට දුරකථන ඇමතුමක් ලැබුණි. මම ඊට එකඟ වීමි. එහෙත් පැය කීපයකට පසු මුලින් මා ඇමතූ පුද්ගලයා බෙහෙවින් කාරුණිකව මට දන්වා සිටියේ එම සාකච්ඡා කල් දමා ඇති බවය. දේශපාලන ප්‍රතිචාර ගැන හොඳින් දන්නා නිසාම මම එය සොයා බැලුවෙමි. මට දැනගැනීමට ලැබුණේ මා මේ ආණ්ඩුවේ පසමිතුරකු නිසා ඉහළින් ආ උපදෙසකින් එය සිදු වූ බවය. මා මෙය සඳහන් කළේ මාධ්‍ය නිදහස ගැන පාරම්බාන දේශපාලනය ගැන කීමට විනා මේ ආණ්ඩුවේ මාධ්‍යවලින් පෙනීසිටීමට නොවන බවද අවධාරණය කළ යුතුය. වත්මන් මාධ්‍ය ඇමැතිවරයා හෝ අනෙක් ඇමැතිවරුන් සමග හෝ අපට කිසිදු සබඳතාවක් ද නැත. එසේ වුවද ඔවුන්ගේ යහපත් දේ ඇගැයීමට ද අපට බාධාවක් නැත.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙන්ම මානව හිමිකම් දිනාදීම සම්බන්ධයෙන් මෙරටේ මාධ්‍යවේදීන් කැපවූ ආකාරය අපි දනිමු. එසේම අපගේම ඇතැම් සගයන් දේශපාලන කප්පම් ලෙස මාධ්‍ය ආයතනවලට, වෙනත් මණ්ඩලවලට පත් වූ අවස්ථාවල ඔවුන්ට ක්‍රියාකිරීමට සිදු වූ ආකාරය ගැන ද අපට අවබෝධයක් තිබේ. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් ආරම්භ කළ මාධ්‍ය නිදහසට තහංචි දැමීම අද දක්වාම ලිහිල් වී නැත. මේ ආණ්ඩුව ඒ සඳහා ක්‍රියා කරන්නේදැයි යන්න ද අවිනිශ්චිතය.
හිටපු අගවිනිසුරුවරයකු වූ ශර්වානන්ද මැතිඳුන් වරක් කළ මාධ්‍ය පිළිබඳ නඩුවකදී ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වමු.
“භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යන්නෙන් අදහස් වන්නේ තම විශ්වාසයන් වාචිකව, ලිඛිතව, මුද්‍රිතව, ඡායාරූප මගින් හෝ වෙනත් ක්‍රමයක් මගින් ප්‍රකාශ කිරීමේ අයිතියයි. බැනර්, දැන්වීම් පත්‍රිකා, සලකුණු ආදිය මගින් අදහස් ප්‍රකාශ කිරීම ද ඊට ඇතුළත් වේ. තව ද සාකච්ඡා පැවැත්වීම හා දැනුම ප්‍රචාරය කිරීම ද එහි අන්තර්ගත වේ. එමෙන්ම අදහස් මුද්‍රණය කර ඒවා ප්‍රචාරය කිරීමේ නිදහස ද මෙම නිදහසට ඇතුළත් බව මෙයින් තහවුරු කෙරේ.
(………………… ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳ සාමාන්‍ය පිළිගැනීම වන්නේ රජය පාලිතයන්ගේ කැමැත්ත මත පදනම් විය යුතු බවයි. පාලිතයන්ගේ කැමැත්ත යන්නෙන් එය නිදහස් කැමැත්තක් විය යුතු බව පමණන් නොව විවිධ ප්‍රතිවිරුද්ධ මාර්ග ඔස්සේ පුළුල්ව පැතිරී ගිය තොරතුරු ආධාර කොටගෙන ප්‍රමාණවත් තොරතුරු හා සාකච්ඡා මත පදනම් විය යුතු කැමැත්තක් බව ව්‍යංගයෙන් අදහස් වේ.
අප කවුදැයි විමසන මේ ආණ්ඩුවේ මාධ්‍ය හා කලා ඔස්තාර්ලා හැර අන් පුරවැසියන් උදෙසා මේ උපුටා දැක්වීම් කළ බවද කිව යුතුය. ප්‍රවෘත්තියක සංවේදී බව හා දරාගැනීම පුද්ගලයා අනුව ද වෙනස් වන්නක් බව අපගේ අදහසය. මාධ්‍යවේදීන් වන අප බොහෝවිට උපුටා දක්වන වෝල්ටෙයාර් (ප්‍රංශ දාර්ශනික Henry Voltair) කී පරිදිම “කෙනකු පවසන දේ සමග එකඟ නොවූවද එසේ පැවසීමට තිබෙන අයිතිය අප ආරක්ෂා කළ යුතුය. එය ජනතාව උදෙසා සද්භාවයෙන් කෙරෙන්නක් ද යන්න විනිශ්චය කිරීමට සියුම් ප්‍රඥාවක් ද මාධ්‍යවේදියාට තිබිය යුතුය.
ජනතාව දේශපාලනඥයන්ට ඉහළට නැඟීම සඳහා හෝ බලය උදෙසා භාවිත වන ඉණිමගක් නොවිය යුතු වන්නා සේම ඔවුන්ගේ දේශපාලන මන්දිරවලට පිවිසීම සඳහා තිබෙන දොරටුවල පාපිස්සක් නොවන තැනට වගබලා ගැනීම ද මාධ්‍යවේදීන්ගේ උතුම් අපේක්ෂාව විය යුතුය යන අදහස ද මගේ මතකයට එයි. මහත්වරුනි, අපි ඔබගේ සතුරන් නොවන්නෙමු. අපේ නිදහසට බාධා නොකරනුයි අපට ඉල්ලා සිටිය හැකිය. එහෙත් ඒ අභිමානවත් වෘත්තිකයන් ලෙස විනා නිවටයන් ලෙස නොවේ. ඒ නිදහස වෙනුවෙන් සටන් කළ ඉතිහාසය සමග ඔබ ද සිටියෙහිය.
ගාමිණි සුමනසේකර
Saru FM Media









