නීතිපතිගේ පමණක් නොවේ, මේ රජය යටතේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා – ඇමති හර්ෂණ නානායක්කාර – Saru News | සිංහල

0
8

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ නීතිපතිගේ පමණක් නොවේ, ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේදී අද (23) අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය – 01. නීතිපති ධුරය රජයේ ස්වාධීන ධුරයක් වන්නේද ?

02. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරනු ලබන නිර්දේශයක් සභාව අනුමත කිරීමෙන් පසුව පමණක් නීතිපතිවරයා පත් කරනු ලබන්නේද ?

පිළිතුරු –  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නීතිපති ධූරයට යම් පුද්ගලයකු නිර්දේශ කරනු ලැබ‚ එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් අනතුරුව පමණක් නීතිපති ධුරයට පුද්ගලයින් පත් කිරීම ජනාධිපතිවරයාට විසින් සිදු කරනු ලැබිය යුතුය.

තවද‚ ඉහත 41 ඇ (1) ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත පමණක් නීතිපති ධුරයට පුද්ගලයෙකු පත්කළ යුතු යැයි වන ප්‍රතිපාදනය, 61 ඉ (ආ) ව්‍යවස්ථාව යටතේ ද තහවුරු කර ඇත.

ප්‍රශ්නය – 03. ඒ අනුව නීතිපතිවරයාගේ ස්වාධීනත්වය පාරිශුද්ධත්වය (Sanctity of independence) ව්‍යාවස්ථාව මඟින් සහතික කොට ආරක්ෂා කර ඇත්ද?

පිළිතුර – ඔව්.

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දෙන ලද 41 ඇ (1) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් නීතිපති පත් කිරීමට ප්‍රතිපාදන යෙදීමේ අරමුණ මෙම ධුරයේ පත්වීම සෘජු විධායක බලපෑමෙන් සිදුවන පත්වීමකින් ඉවත් කොට ස්වාධීනපත්වීමක් බවට පත් කිරීම බව පැහැදිලි වේ.

ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය‚ මෙම ධුරය දරන තැනැත්තාට අපක්ෂපාතීව සහ ස්වාධීනව ධුරයක් හෙබවීමට අවශ්‍ය වන ආරක්ෂාව සහ පරිසරය නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර ඇති ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී පරීක්ෂාවක් ලෙස දැක්වේ.

ප්‍රශ්නය – 04. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වන ආකාරයට ස්වාධීනව, විශේෂඥ දැනුම මත නීතිපතිවරයාට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම රජය විසින් සලසා දී තිබේද? දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට අවකාශ ලබා දී තිබේද?

පිළිතුර – ඔව්.

වර්තමාන රජය යටතේ නීතිපති ධූරයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා වත්මන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හා නෛතික විධිවිධාන යටතේ වගකීමෙන් කටයුතු සිදු කරනු ලබයි.

ප්‍රශ්නය – 05. 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටි) පනතේ 03 වැනි වගන්තියේ සඳහන් පරිදි පොලිස්පති හා නීතිපති ධුර දරන්නන් අනිසි චෝදනාවලට ලක්වීම වැළැක්වීමට රජය විසින් කුමන පියවර ගෙන ඇත්ද?

පිළිතුර – 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 3 වන වගන්තියේ නීතිපති ධූරය දරන තැනැත්තකු ඉවත් කිරීම සිදුකර හැකි හේතු දක්වා ඇති අතර, එවැනි යම් හේතුවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන දැනුවත් කිරීමක හෝ චෝදනාවක නිසි අනිසි බව එකී පනතේ  4(1) වන වගන්තිය යටතේ සලකා බලා තීරණය කල හැකි වනුයේ ජනාධිපතිවරයාට වේ.

එලෙස එවැනි කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණය කල යුත්තේ කුමන ක්‍රමවේදයක් යටතේද යන්න පනතේ  4(2) වන වගන්තියේ දක්වා ඇත.

ප්‍රශ්නය – 06. නීතිපතිවරයාගේ  රාජකාරී ඉලක්ක කොට ගෙන සෘජුවම හා වක්‍රව සංවිධානාත්මක ලෙස විවිධ චෝදනා රැල්ලක් නැගී ඇති බව රජය පිළිගන්නේ ද? ඒ සම්බන්ධ රජයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – රජයේ ඕනැම ධූරයක් දරන පුද්ගලයෙකුගේ නිලයේ ස්වාධීනත්වය පසෙකලා, ඔවුන් රාජකාරී කටයුතු සිදු කිරීම පිළිබඳව බාහිර පුද්ගලයින් විසින් කලින් කලට විවිධ අවබෝධයන් මත පදනම්ව විවේචනවලට බඳුන් කරනු ලැබේ.

ඒ අනුව‚ මේ දින වල ජනමාධ්‍යවල නීතිපතිවරයා විසින් සිදුකරනු ලබන රාජකාරී ඉලක්ක කොට විවිධ මත ඉදිරිපත් වන බව රජය විසින් නිරීක්ෂණය කර ඇති වුවද එවැනි මතයන් හි සත්‍යතාවය හෝ අසත්‍යතාව පිළිබඳව තහවුරු කර නොමැත.

ප්‍රශ්නය – 07. නිතිපති ධුරයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි ඉහත සංවිධානාත්මක ප්‍රහාර නැවැත්වීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද?

පිළිතුර – එසේ ඉදිරිපත් වනු ලබන මතයන් මඟින් යම්ලෙසෙක නීතිපති ධූරයේ ස්වාධීවත්වයට බලපෑමක් වන බවට රජය විසින් නිරීක්ෂණය කරනු ලබන ඕනෑම අවස්ථාවකදී එම ධූරයේ ස්වාධීවත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වනු ලබන‚ රටේ පවතින නීතියට අනුකූලව උපරිම ක්‍රියා මාර්ග ගැනීමට රජය කටයුතු කරනු ලැබේ.

මේ වනවිට වෙනත් රජයන්වල වගේ නඩුකාරතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගහන්නේ නැහැ. නඩුකාරවරුන්ට විරුද්ධව පෝස්ටර් ගහන්නේ නැහැ. අගවිනිසුරු ශිරාණී බණ්ඩාරණායක මැතිණියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා. මේ රජය ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. නීතියට අනුව තමයි ක්‍රියා කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද අතුරු ප්‍රශ්න සදහාද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර විසින් පිළිතුරු ලබා දෙන ලදී.

ප්‍රශ්නය – නීතිපතිවගේ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවාට. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීතිපතිගේ තීන්දු තීරණ ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවාද ?

පිළිතුර – “නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය වෙනුවෙන් අපේ 159 දෙනාත් ජනාධිපතිතුමාත් පෙනී සිටිනවා. ඒකයි ක්‍රමය. සමාජ මාධ්‍යවල තහවුරු නොකරගත් ගොඩාක් මත යනවා. විපක්ෂ නායකතුමා ගැනත් විවිධ කථා යනවා. විපක්ෂ නායකතුමා සම්බන්ධව අලි මන්තර කථා යනවා. විපක්ෂ නායකකම ළමයෙකුට දුන්නා නම් හොදයි වගේ කතා කියනවා. මේ රජය යටතේ නීතිපතිවරයාගේ පමණක් නොවෙයි ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා.

මට ජනාධිපතිතුමා ගැනත් මගේ කණ්ඩායම ගැනත් විශ්වාසයි. මට මේ ඇමතිකම ලබාදී තිබෙන්නේ සමාජ මාධ්‍ය මගින් නොවේ. ගරු ජනාධිපතිතුමායි. මේ රජය යටතේ නීතිපතිගේ පමණක් නොවේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය මෙන්ම නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මොන තනතුරේ හිටියත් කොහේ හිටියත් වැරදි කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිලෙන්නේ නැහැ. වැඩකරන කොට වළං කඩේට පැන්න ගොනා වගේ ඇණ ගෙන යන්නෙත් නැහැ.”


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here