නීතිඥ වන්නිනායක හැංගිලා: විදෙස් ගමන් තහනමක් පනවන්න

0
1

පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි
ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් දීමට බැහැ – විනිසුරු

ගල්කිස්ස අධිකරණය තුළදී අධිකරණ රාජකාරි කළ පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම, එම නිලධාරියාට පරුෂ වචනයෙන් බැණවැදීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ප්‍රකාශයක් ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පදිංචි නිවසට ගියත් ඔහු නිවස අතහැර පලාගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්‍ෂක මුදිත දල්පදාදු මහතා ඊයේ (13දා) ගල්කිස්ස අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අධිකරණ භූමියේදී නීතිඥවරයා විසින් පොලිස් කොස්තාපල්වරයාට බැණවදින ආකාරය සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් ඒ ඔස්සේ අධිකරණ භූමියේ එම අවස්ථාවේ සිටි කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන සිදුකරන බවත් දල්පදාදු මහතා ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ බී වාර්තාවක් මගින් කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුගිය සිකුරාදා (10දා) ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණෙන ලෙස බොරලැස්ගමුව පොලිසිය මගින් නීතිඥ වන්නිනායක මහතාට දැනුම් දුන් බවත් ප්‍රකාශයක් ලබාදීමට නොපැමිණීම නිසා ඔහු පදිංචි බොරලැස්ගමුවේ නිවසට ගියත් ඔහු එම නිවස අතහැර පලාගොස් සැඟව ඇති බවත් පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට පෙර විදෙස් රටකට පලායෑමේ සූදානමක් ඇති බවට වාර්තා වන බවත් එම නිසා ඔහුට විදේශ ගමන් තහනමක් පනවන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එමෙන්ම සැකකාර නීතිඥවරයාගේ ජංගම දුරකථනයට දත්ත විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර නීතිඥ වන්නිනායක මහතා වෙනුවෙන් මෙහිදී අධිකරණය හමුවේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේ පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තා කරුණු අසත්‍ය බවත් සැකකාර වන්නිනායක මහතාට රටින් පලායෑමට අවශ්‍යතාවක් නැති බවත්ය. හිටපු අගවිනිසුරුවරියක ඉවත් කිරීමට කටයුතු කළ සමයේ ඊට එරෙහිව දැඩි විරෝධතාවක් දැක්වූ නීතිඥවරයකු ලෙස වන්නිනායක මහතා කටයුතු කර ඇති බවද මැද්දෙගොඩ මහතා පැවැසීය.

මෙහිදී විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරියක් වන්නිනායක මහතාගේ හැසිරීම සහ වචන භාවිතය නීතිඥ ප්‍රජාවට කළ අපහාසයක් ලෙස සලකන බව කියා සිටියාය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා වන්නිනායක මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස තමාට නියෝගයක් දිය නොහැකි බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නොවැම්බර් 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරන ලදී.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here