නිළි රැජිනට අවසන් ගෞරව දක්වන්න චිත්‍රපට සංස්ථාවට දිගු පෝළිම්

0
2


අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේ තැන්පත් කර තිබෙනවා. එතුමියගේ දේහය චිත්‍රපට සංස්ථාවට ගෙන එනු ලැබුවේ අද පෙරවරුවේයි. 

දේහය, චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේ තැන්පත් කිරීමත් සමග විශාල පිරිසක් මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. 

මාලිනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු තවත් කලාකරුවන් රැසක් චිත්‍රපට සංස්ථාවට පැමිණියා.  

මාලිනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ අභාවය පිළිබඳ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙලෙස අදහස් දැක්වුවා. 

Neth Sound · GEETHA 01

මේ, රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් මහත්මිය.

Neth Sound · NILMINI 01

1947 වසරේ අප්‍රේල් 30 වනදා කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ ඇය 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටියෙන් සිනමාවට පිවිසියා. 

එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, මාතර ආච්චි, බැද්දේගම ඇතුළු චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 

එමෙන්ම  විජය – මාලනී, ගාමිණී – මාලනී සහ රවීන්ද්‍ර – මාලනී යන යුග මෙරට ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. 

චිත්‍රපට අධ්‍යක්‍ෂණය, තිර රචනය හා නිෂ්පාදනයද ඇය විසින් සිදු කළ අතර ටෙලිනාට්‍ය රැසකටද සිය රංගන දායකත්වය ලබා දුන්නා. 

පිටගම්කාරයෝ ටෙලිනාට්‍යද ඒ අතරට අයත්. එවන් පසුබිමක් තුළ දශක ගණනාවක් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය මෙරට තුළ අවස්ථා ගණනකදී සම්මානනයට පාත්‍ර වූ හෙළ සිනමාවේ නිළි රැජින අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර සම්මානද ලබා ගෙන තිබෙනවා. 

2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත්වූ මාලනී ෆොන්සේකා මහත්මිය 2015 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here