නිවාඩු දුන්නා…. දැන් යුද්දේ පටන් ගත්තා

0
12


පාසල් නිවාඩුව සමග දෙමව්පියන්ට ඇති වෙන තවත් එක් ප්‍රශ්නයක් තිබෙනවා. වෙනදා උදේට පාසලට ඇරලලා හැන්දෑවට නිවසට ගෙන්වා ගන්න චණ්ඩි පැටව් දැන් තනියම නිවසේ තියන්නේ කොහොමද යන ගැටළුව ඇති වෙනවා. කන්තෝරු යන අම්මාට හැමදාම දරුවා එහි අරගෙන යන්නත් බැහැ. එහෙම වුනාම දරුවාටත් ඉතින් නිදහසක් නැහැ. ඒ එක පැත්තක්. තවත් දරුවන්ට නම් නිවසේ ආරක්ෂාවක් තිබෙනවා. අත්තම්මා, එහෙම නැත්නම් අක්කා , අයියා වගේ ආරක්ෂකයෙක් ඉන්නවා. කොහොම වුනත් නිවාඩු කාලයේ අම්මලා තාත්තලාට ඇති වෙන මේ ප්‍රශ්නවලටත් අපි පිලිතුරු ටිකක් හොයමු..

අවුරුදු නිවාඩුව දැන් ඉතාම සීමිතයි. එහෙ බලලා මෙහෙ බලන විට අවසානයි. මේ සුලු කාලයේදී වුනත් නිවාඩුව ඵලදායී විදිහට දරුවා යොමු කරන්නේ කොහොමද..?

අලුත් අවුරුදු ළග ළඟම එන නිසා දරුවාගෙනුත් යම් යම් උදව් ලබා ගන්න දැන් පුලුවන්. නිවස පිරිසිදු කරන කටයුතු දැන්ම පටන් ගත්තාම ඉතාම පහසුයි. ඒ නිසා දවසේ කළ යුතු වැඩ කොටසක් දරුවාටත් බෙදා දෙන්න. උදාහරණයක් විදිහට පොත් මේසය, නිවසේ තිබෙන ඡායාරූප මේ වගේ දේවල් පිරිසිදු කිරීමට ඔවුන්ටත් බෙදා දෙන්න. එවිට දරුවාටත් කාලය ගෙවන මගක් ඇති වෙනවා වගේම නිවසත් නොදැනීම පිරිසිදු වෙනවා.

ඉස්සරනම් අලුත් අවුරුදු වෙනුවෙන් ඇඳුම් නිවසේම මසා ගත්තා. අද ඒ වෙනුවෙන් යොමු වෙන අය ඉතාම අඩුයි. වෙන‍ දෙයක් තබා කොට්ට උරයක් තරම් දෙයක් වත් මහ ගන්න පිරිසක් අද නැහැ. ඒත් ගැහැණු දරුවන්ට නිවාඩු කාලයට කොට්ට උරයක මල් මහන්න අවස්ථාවක් ලබා දෙන්න. අද පාසල් ව්‍යාපෘති මගින් කතිර මැස්මෙන් බිත්ති සැරසිලි කිරීම විෂය සමගාමී කටයුත්තක් විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන්ට මේවා ගැන හුරුව තිබෙන නිසා කතිර මෝස්තර යොදා ගෙන කොට්ට උරයක්, අත්පිස්නාවක් මහන්න අවශ්‍ය වෙන පසුබිම සකස් කර දෙන්න. කතිර මහන විට ඉවසීම, බුද්ධිය වගේම දරුවාගේ නිර්මානශීලීබවත් වැඩි දියුනු වෙනවා. ඒ නිසා නිවාඩු කාලයට ඒ වගේ මැහුම් ගෙතුම් කලාවන්ට යොමු කරනවා නම් ඉතාමත් අගෙයි.

ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ට වුනත් උයන්න පිහන්න කියා දීම කිසිම වරදක් නැහැ. අලුත් අවුරුදු කාලයට දරුවන් ලවා රසකැවිල්ලක්, එහෙම නැත්නම් අච්චාරුවක් වගේ දෙයක් සාදා ගන්න. එය තනියම කිරීමට පුලුවන්. ඒ විතරක් නොවෙයි, ඔබ කැවිලි හදන විට ඒවා කපා ගැනීමට, ඇසිරීමට දරුවන්ගේ සහය ලබා ගන්න. කුස්සිය පැත්තටවත් එන්න එපා කියමින් තහංචි පැනවීම කිසිසේත්ම සුදුසු නැහැ.අද බොහෝ දෙමව්පියන් දරුවන්ට මුලුතැන්ගෙය තහනම් කලාපයක් බවට පත් කරනවා. ඒ නිසාම ඔවුන්ට ඉවුම් පිහුම් ගැන කිසිම දැණුවත් බවක් හෝ අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. එයින් පසුව අම්මලාම නගන චෝදනාව වෙන්නේ අපේ දරුවන්ගෙන් කිසිම උදව්වක් නැහැ..මේ නිවාඩු කාලයේදී දරුවන්ගෙන් උදව් ගනන්. ලැබෙන සහයෝගය ඔබට පහසුවක් වගේම දරුවාට අත්දැකීම් ලබා ගැනීමට ගැලපෙන පරිසරය නිර්මානය වෙන බවත් අමතක කරන්න එපා.

පාසල, පංතිය අතර සිරගතව සිටි දරුවන්ට දැන් නිවාඩු ලැබිලා.කන්තෝරු යන අම්මා තාත්තාට නම් ඒ අවසරය නැහැ. ඒත් දරුවන් සමග නෑ ගමනක් හෝ වෙනත් චාරිකාවක් වෙනුවෙන් කාලය දැන් ලබා ගත හැකියි. අද දරුවන් වෙනුවෙන් නැගෙන බරපතලම චෝදනාව වෙලා තියෙන්නේ මිනිස් ආශ්‍රයක් නැහැ..ජංගම දුරකථනය විතරයි…මේ කථාව ඇත්ත. ඊට බලපාන තවත් හේතු තිබෙනවා. අම්මලා තාත්තලා වුනත් මිනිස් ඇසුරට කැමැති නැහැ. එදා කියපු විදිහට කෝච්චියෙන් ගමට යනවා.. කිරියි පැණියි කාලා එනවා..වැල්ලේ පදිමු රං ඔන්චිල්ලා.. යනුවෙන් සතුටු වෙන්න බැහැ. අඩුම ගනනේ අම්මාගේ තාත්තාගේ මුල් ගම් කොහෙද කියලා වත් දරුවන් දන්නේ නැහැ. ඒ තරමටම පවුල් සම්බන්ධතාවයන් ගිලිහී ගිහින්. මේ විදිහට බිදවැටුන පවුල් සම්බන්ධතාවයන් නැවත ගොඩ නගා ගැනීමට මේ හොඳම කාලය දැන් ඔබ ඉදිරියේ තිබෙනවා.

නිවාඩු කලාය දරුවන්ට නිවාඩුවක් විදිහට ගෙවන්න ඉඩ දෙන්න. සෙල්ලමක යෙදුනාම මහ විනාශයක් සිද්ධ වුනා වගේ ආවේග ගන්න එපා. සෙල්ලමත් දරුවාට අවශ්‍යයි. ශාරිරිකව වැඩුනත් මානසිකව සතුටක් ලබන්න, ක්‍රියාශීලීජීවිතයක් වෙනුවෙන් දරුවන්ට සෙල්ලම අවශ්‍යයි. ශිෂ්‍යත්වය, සාමාන්‍යපෙළ, උසස් පෙළ වැනි විභාග නිසා ඔවුන්ගේ සෙල්ලම් වයස වැඩිහිටියන් විසින් උදුරා ගැනීම ඉතාම අසාධාරණයි. ඉගෙණුම වෙනුවෙන් අවධානය සහ කැපවීම අවශ්‍ය බව ඇතත්. ඒ වුනත් නිවාඩු කාලයේදී සෙල්ලම වෙනුවෙන් යම් අවසරයක් ලබා දෙන්න. එය කිසිම විටෙක වැරැද්දක් නොවෙයි. බොහෝ අම්මලා නිවාඩු කාලයටවත් දරුවන්ට සෙල්ලමට ඉඩ නොදෙන්නේ ඒ වෙනුවෙන් හුරු වුනොත් නැවත පාඩමට ඇද ගැනීමට බැරි වේය යන බය නිසයි. අක්‍රීයශීලිව කාලය ගෙවන දරුවන් නොදැනම ඇබ්බැහි වෙන්නේ ජංගම දුරකථනයටයි. අද මත්ද්‍රව්‍යවලටත් වඩා දරුනු තත්වයක් ඇති වී තිබෙන්නේ ජංගම දුරකථන නිසා. සෙල්ලම් කිරීමෙන් දරුවන් සමාජය සමග සුහදතාවය ගොඩ නගා ගන්නවා. එය ජීවිතයට සතුට ලැබෙන මගක්.

ඉතින් … මේ සරල කටයුතු අනුගමනය එතරම් අපහසු නැහැ. ඔබත් මේ නිවාඩු කාලයේදී ඔබේ දරුවන් සමග මේ විදිහට ගත කරල බලන්නකෝ..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here