නිල ඇරයුමකට ජනපති 27දා ජපානයට

0
5

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය. එසේම ජනාධිපතිවරයා ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක්ද පවත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයන්ගේ ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදය ජනාධිපතිවරයා ඇමතීමට නියමිතය.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී ජපන් රජයේ ආරාධිතයකු ලෙස “එක්ස්පෝ 2025 ඔසාකා” (Expo 2025 Osaka) ප්‍රදර්ශනයටද ජනාධිපතිවරයා සහභාගි වෙයි. මෙම ප්‍රදර්ශනයේ අරමුණ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ආර්ථික හැකියාවන් විදහා දැක්වීමයි.

ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන්ද අමතනු ඇත. ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට සහභාගි වෙති. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළින් දෙරට අතර ඇති දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවේ බැඳීම තවදුරටත් තහවුරු කරගැනීමටද අපේක්ෂා කෙරේ.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here