Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් නිලමේ හැදූ මාළිගාවේ VIP පෝලිම ටිල්වින්ලා නවතලා

නිලමේ හැදූ මාළිගාවේ VIP පෝලිම ටිල්වින්ලා නවතලා

0
7


the-vip-queue-at-the-palace-built-by-nilame-has-been-stopped-by-the-tilwins

ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ හෙළිදරව්වක් කර ඇත. ඔහුගේ ප්‍රකාශය අනුව, මෙවර දළදා ප්‍රදර්ශනයේදී නිල වශයෙන් “ප්‍රභූ පෝලිම්”(VIP) නොතිබුණද, එහි සිටින පුද්ගලයන් එක්ව එවැනි විශේෂ පෝලිමක් නිර්මාණය කරගෙන ඇති බව සඳහන් කරයි.

වැඩිදුරටත් තොරතුරු අනුව, මෙම විශේෂ පෝලිම නිර්මාණය කිරීමට දියවඩන නිලමේවරයාගේ ද සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී තිබේ. ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, මෙම ක්‍රියාදාමය තුළින් තමන්ගේ හිතවතුන් විශේෂිත ලෙස දළදා වන්දනාවට යැවීමට කටයුතු කර ඇති බවත්, පැරණි පුරුදු තවමත් පවත්වාගෙන යන බවත්ය. කෙසේ වෙතත්, ඔහු පැවසූ පරිදි පසුව කතාබහ කර මෙම තත්ත්වය නැවැත්වීමට සිදුවී තිබේ.

දැන් මේ දළදා වහන්සේ වැඳ පුදාගැනීම පිංකමක්නෙ. ඒක පදනම් කරගෙන පවා බොරු කියනවා. අපි කිව්වා කලින් වගේ වීඅයිපී පෝලිම් නෑ. කවුරුත් එක පෝලිමේ කියලා. පස්සෙ අපිට ආරංචි වුනා එතැන හිටපු කට්ටිය වෙන පෝලිමක් හදලා. දියවඩනෙ නිලමේ තුමාගෙත් දායකත්වය ඇතිව කියලයි ආරංචිය තිබුනෙ. පරණ පුරුද්ද ආයෙ එනවා. ඊට පස්සෙ අපට සිද්ධ වුනා ඒක කතා කරලා නවත්තන්න.


යැයි ටිල්වින් සිල්වා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී තවත් විශේෂ තොරතුරු අනාවරණය වී තිබේ. සිරි දළඳා දැක්මට සහභාගී වන දහස් ගණනක් ජනතාව පිටත සිටියදී, දළඳා දැක්ම ආරම්භ වන මොහොතේදී විශේෂ පෝළිමකින් දිනකට දෙදහසකට වැඩි පිරිසක් දළඳා වන්දනාවට සහභාගී කර ඇත. වාර්තා වන පරිදි, මෙය වත්මන් රජයේ මැදිහත්වීමෙන් සිදු කරන්නක් නොව, වත්මන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් දළඳා මාළිගාවේ පාලනාධිකාරිය විසින් සිදු කරන ක්‍රියාවලියක් බව සඳහන් වේ.
අප්‍රේල් 18 වන දින දළඳා වන්දනාව ආරම්භ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා දහවල් 12.30ට නිල වශයෙන් දළඳා දැක්ම ආරම්භ කරන අවස්ථාවට සහභාගී වූ අතර, ජනාධිපතිවරයාගේ දැනුවත්වීමකින් තොරව එම අතරවාරයේ විශාල පිරිසක් පෝළිම්වලට සකස් කොට ඇති බව සඳහන් වේ. දහවල් 3.30ට නිල දළඳා දැක්ම ආරම්භ වීමට පෙර මෙම විශේෂිත පුද්ගලයන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී ඇත. එදිනෙන් පසු සෑම දිනකම දහවල් 12.30ට නිල දැක්ම ආරම්භ වීමට පෙර පෝලිම් සකසා විශේෂිත පුද්ගලයන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.
මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් බලවත් පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ ඥාතීන් සහ පවුල්වල සාමාජිකයන්ද සිටින බව වාර්තා වේ.
මේ පිළිබඳ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු සඳහන් කළේ,

උදෑසන 11.30ට විෂ්ණු දේවාලයේ සිට ඇත්ගාල අසලින් ජාත්‍යන්තර කෞතුකාගාරය අසලින් මගුල් මඩුව අසල පිවිසුම් දොරින් නව බුදුමැදුර අසලට පැමිණෙනවා. එතැනින් ඇතුළු වී දළඳා වන්දනාව සිදු කරනවා. දිනකට දෙදහසක පමණ පිරිසකට මෙලෙස අවස්ථාව ලබා දෙනවා. අප දකින ආකාරයට මේ වෙද්දී මහනුවර දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණය වෙනුවෙන් මෙම අවස්ථාව අවභාවිත කිරිමට වත්මන් දියවඩන නිලමේවරයා කටයුතු කරනවා.
සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන නිලවරණයට ඡන්දය භාවිත කිරීමට නියමිත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් මේ ක්‍රමයට දළඳා වන්දනා කර තිබෙනවා. පිටතින් එන අයව, එළියේ සිටින ජනතාව ඇතුළට පැමිණෙන මොහොතේ ඒ පෝළිමටම සම්බන්ධ කරනවා. මිනිස්සුන්ගේ පෝළීමට බාධාවක් වූ බවක් නොපෙනෙන විදියට. බොහෝ වෙලාවක් පිටත සිට එක්වර ඇතුළට පැමිණෙන ජනතාව භක්තිය නිසාම මේක අවබෝධ කරගන්නේත් නෑ.


යනුවෙනි.
වාර්තා වන ආකාරයට දළඳා වන්දනාවට පැමිණෙන සාමාන්‍ය බැතිමතුන් පැය 12-20 අතර කාලසීමාවක් පෝළිමේ රැඳී සිටින අතර, මෙම විශේෂ පෝලිම හරහා පැමිණෙන පුද්ගලයන්ට ඉතා කෙටි කාලයක් තුළ දළදා වන්දනාවට අවස්ථාව ලැබෙන බව සඳහන් වේ.
දළඳා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා මේ වන විට ප්‍රබල පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වීමට නියමිතය. ඒ අතර වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මේ වන විට මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේවර එස්. බණ්ඩාරණායක ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, කතරගම දේවාලයේ දමින්ද උඩුරාවල ද එම තනතුරට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ, දළදා වන්දනාව වැනි ආගමික කටයුතුවලදී පවා දේශපාලන බලපෑම් සහ විශේෂිත වරප්‍රසාද ලබාදීමේ සංස්කෘතිය තවමත් පවතින බවයි. විශේෂයෙන්ම දියවඩන නිලමේ තනතුර සඳහා පැවැත්වීමට නියමිත නිලවරණය සමීපව පවතින මොහොතක මෙවැනි සිදුවීම් ඇතිවීම සැලකිල්ලට ගත යුතු කරුණකි.
සාමන්‍ය ජනතාව පැය ගණනාවක් පෝලිම්වල සිටිමින් දළදා වන්දනාව සඳහා බලා සිටින අතර, සමහර විශේෂිත පුද්ගලයන්ට මෙලෙස වරප්‍රසාද ලැබීම සමාජ අසාධාරණයක් ලෙස දැකිය හැකිය. රජය මෙම කරුණ සම්බන්ධයෙන් ගන්නා පියවර කෙරෙහි ජනතාවගේ අවධානය යොමුවී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here