නිතර හැඩිවෙන අල්මාරිය හැමදාම පිළිවෙලට තියාගන්න ටිප්ස්

0
12


ඔබේ ඇඳුම් අල්මාරියත් නිතර නිතර අවුල් වෙනවද ? ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය දේ හොයාගන්න අපහසු වෙනවද ? මේ ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි ඔබේ ඇඳුම් අල්මාරිය නිසි පරිදි සංවිධානය කර ගන්න එක. මෙය ඔබේ කාලය ඉතිරි කරනවා වගේම ඔබට පහසුවත් සලසලා දෙනවා.

ඕනෑම අල්මාරියක ඇතුළත තට්ටු වශයෙන් හෝ ඇඳුම් එල්ලා තැබීමෙ පහසුකම අනිවාර්යයෙන්ම තියෙනවා.එනිසා ඔබට ඔබේ ඇඳුම් වර්ග කර වෙන්කර තබන්න ඉතාම පහසුයි. උදාහරණයක් හැටියට ඔබ කාර්‍යාලයට අඳින කලිසම් , සාමාන්‍ය ගමන්වලට අඳින කලිසම් , බ්ලව්ස් වර්ග , ටී ෂර්ට් වර්ග ආදී ලෙස වෙන් වෙන් වශයෙන් නවා තැබිය හැකියි. ඒ වගේම ඔබට පහසු ඇඳුම් , ඔබ රාත්‍රියට අඳින ඇඳුම් ආදී ලෙසත් වෙන් කරන්නට පුළුවන්. එයින් ඔබට ඇඳුම් තෝරා ගැනීම ඉතාම පහසු කරවනවා වගේම හදිසි අවස්ථාවලදී ඔබ අතින් අල්මාරිය අවුල් වීමේ ප්‍රවණතාවය ඉතාම අඩු වෙනවා.

ඔබේ ඇඳුම් සෑම විටම නවා තැබිය යුතු යැයි නියමයක් නැහැ. ඔබේ අල්මාරියේ ලාච්චු තිබෙනවා නම් , ඔබ නිතර භාවිතයට නොගන්නා ඩෙනිම් , ටී ෂර්ට් , ව්‍යායාම කිරීම සඳහා භාවිතා කරන ඇඳුම් ආදිය රෝල් කර එම ලාච්චුවල අසුරා තැබිය හැකියි. මෙමගින් ඔබ නිතර භාවිතයට ගන්නා ඇඳුම් පෙනෙන මානයේ ගබඩා කිරීමට ඔබට ඉඩ පහසුකම ලැබෙනවා 

ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ වැඩිපුරම භාවිතා කරන ඇඳුම් මොනවද යනුවෙන් සිතා බලන්න. ඔබ රැකියාව සඳහා යාමට තෝරා ගන්නේ කුමන ආකාරයේ විලාසිතා ද ? ඔබ සාමාන්‍ය ගමන් සඳහා භාවිතා කරන්නේ කුමන ආකාරයේ ඇඳුම් ද ? එවැනි ඇඳුම් ඔබට ඔබේ අල්මාරියෙ ඔබ අත පොවන මානයේ අසුරා තැබිය හැකියි. මෙය ඔබ අනිත් ඇඳුම් අතර ඔබට අවශ්‍ය දේ සෙවීමට කාලය නාස්ති කිරීම වගේම අල්මාරිය අවුල් වීමත් වළක්වනවා 

අල්මාරියෙ තිබෙන සෑම ඇඳුමක්ම ඔබ භාවිතා කරනවා දැයි හොඳින් සිතා බලන්න. ඔබ දිගු කලක් තිස්සේ භාවිතා නොකල ඇඳුම් ඔබේ අල්මාරියෙන් ඉවත් කරන්න.ඒ වගේම ඔබ අලුතින් ඇඳුම් මිලදී ගෙන ඒවා අල්මාරියෙ ගබඩා කිරීමට පෙර පරණ ඇඳුම් කිහිපයක් අල්මාරියෙන් ඉවත් කරන්න. ඉවත් කරන භාවිතයට සුදුසු ඇඳුම් සියල්ලම පරිත්‍යාග කරන්නට ඔබට පුළුවන්.

ඔබ ඇඳුම් එල්ලා තැබූ පසු එම තට්ටුවේ යට කොටසේ කුඩා ඉඩක් ඉතිරි වන්නට පුළුවන්. එම ඉඩට සරිලන වේවැල් කූඩ , ප්ලාස්ටික් බාස්කට් වැනි දේවල් ඔබට සොයා ගන්නට පුළුවන් නම් ඔබේ යට ඇඳුම් , මේස් වර්ග හෝ ආභරණ ඒවායේ අසුරා තැබිය හැකියි

ඔබ අල්මාරියේ ගබඩා කරන කූඩ හෝ පෙට්ටි වල තිබෙන්නේ මොනවා දැයි අල්මාරිය විවෘත කළ විට පැහැදිලිව නොපෙනෙනවා නම් ඒවා ලේබල් කිරීම වඩා සුදුසු වෙනවා. නැතිනම් විනිවිද පෙනෙන පෙට්ටි හෝ බාස්කට් භාවිතා කරන්නත් ඔබට පුළුවන් 

අල්මාරියේ දොර වැසූ විට අල්මාරියෙ ඇතුලත තට්ටු හා යම් පරතරයක් තිබේ නම් ඔබට අල්මාරියේ දොරෙහි කුඩා කොකු එල්ලා ඔබේ ආභරණ , බෙල්ට් එල්ලීම සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. 

මෙන්න මේ ටිප්ස් භාවිතා කරලා ඔබට ඔබේ ඇඳුම් අල්මාරිය අවුල් නොවී තියාගන්න පුළුවන්. නමුත් මාසයකට වරක් වත් අල්මාරිය පිරිසිදු කරන්න අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here