ආහාර ගැනීම කියන්නේ අප කාගේත් ජීවන රටාවේ ප්‍රධානතම කොටසක් .නමුත් මේ ආහාර ගැනීම නිසි ආකාරව නොකළොත් ඔබේ සෞඛ්‍යයට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන්නට පුළුවන්. බොහෝ දෙනා කුසගින්නට අමතරව පුරුද්ද , ආතතිය සහ ආශාව වැනි හේතු නිසා නිතර ආහාර ගැනීමට පෙළඹෙනවා. සෞඛ්‍ය සම්පන්න නොවන මේ පුරුද්දෙන් ගැලවෙන්න පුළුවන් පුංචි ටිප්ස් කීපයක් ගැනයි මේ ලිපිය.
ඔබේ මනස අවුල් සහගත වූ විට සහ ඔබ ආතතියට පත්වූ විට ඔබ වැඩි වශයෙන් ආහාර ගැනීමට පෙළඹෙනවා. ඔබේ ශරීරය මගින් ආතති හෝමෝනය වන කෝටිසෝල් ඉහළ මට්ටමකින් නිපදවන විට ඔබට ලුණු , පැණි රස සහ තෙල් අධික ආහාර ගැනීමට තෘෂ්ණාව ඇතිවනවා.
සමහර අය කෝපය , දුක, සාංකාව, බය , හුදෙකලාව,අමනාපය ,ලැජ්ජාව ඇතුළු සමහර අවස්ථාවලදී පාලනය කර ගත නොහැකි හැඟීම් පාලනය කර ගත හැකි සහ අඩු කර ගත හැකි මාර්ගයක් ලෙස ආහාර ගැනීම තෝරා ගන්නවා.
විවේක කාලය අර්ථාන්විතව ගත කිරීමට ක්‍රමයක් නොමැති වීම නිසා එම කාලය ගෙවා ගැනීමට ආහාර ගැනීමට පෙළඹීමද සමහර අය තුළ දක්නට ලැබෙනවා. ජීවිතය පිළිබඳව අරමුණක් නොමැති වීම සහ අතෘප්තිය යන හැඟීම් මුදුන්පත් වීම මෙයට හේතුවයි.
බොහෝ දෙනාට ළමා කාලයේදී අභිප්‍රේරණයක් ලබාදීම සඳහා බොහෝ දෙමාපියන් දරුවන්ව පැණිරස කෑම වලට යොමු කරනවා. විශේෂයෙන්ම විභාගයක් සමත් වීමේදී , හොඳ ලකුණු ලබා ගැනීමේදී වගේම විවිධ කාරණාවලදී ඔවුන්ට කෙටි ආහාර, ක්ෂණික ආහාර සහ රස කැවිලි වර්ග ලබා දෙනවා. මෙය වැඩිහිටි සමයේදීත් පුරුද්දක් බවට පත් වීමෙන් නිතර මෙවැනි ආහාර ගැනීමට පෙළඹෙන්නට පුළුවන්.
ආතතියෙන් මිදීමට පහසු ක්‍රමයක් ලෙස මිතුරන් සමග එකතු වීම බොහෝ දෙනා සිදු කරනවා. මෙහිදී අධික ලෙස ආහාර ගන්නා පුද්ගලයන් ඔබ දැක තිබෙනවාද ? එසේ නැත්නම් අන් අයගේ කීමට පමණ ඉක්මවා ආහාර ගන්නා පුද්ගලයන් ඔබ දැක තිබෙනවාද ? ආහාර ගැනීමේ පුරුදු වැඩි කරන සමාජ බලපෑම යනු එයයි
ඔබ දිනක් තුළ ආහාරයට ලබාගන්නා දේවල් පිළිබඳව එනම් ප්‍රධාන ආහාර වේල් , අතුරුපස , ස්නැක් ආදී සියලුම ආහාර වර්ග පිළිබඳව සටහනක් තබාගන්න. මෙය ඔබේ ආහාර රටාව ගැන ඔබට අදහසක් ලබා ගන්නට සහ අනවශ්‍ය ආහාර ගැනීම් වලින් වැළකෙන්නට ඉතාම පහසු වෙනවා.
ප්‍රධාන ආහාර වේල් වලට අමතරව ඔබ යමක් ආහාරයට ගැනීමට පෙළඹීමේදී එය ඇත්ත වශයෙන්ම ඔබට අවශ්‍ය දැයි සිතන්න. විශේෂයෙන්ම ඔබ රැකියාවේ නිරත වන විට එහි ඇති ආතතිය මගහරවා ගැනීමට ඔබ නිතර නිතර කුඩා ප්‍රමාණයෙන් හෝ විවිධ දේවල් ආහාරයට ගන්නවා නම් එසේ ආහාරයට ගැනීමට පෙර ඒවා මගින් ඔබේ ශරීරයට ඇතිවිය හැකි බලපෑම් ගැන සිතන්න.
ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙන විට ආහාර ගන්නා කෙනෙක් නම් එවැනි ආහාර ගැනීමකට පෙර ඔබේ හොඳම මිතුරා ඇමතීම , ඔබේ සුරතලා සමඟ සෙල්ලම් කිරීම වැනි දෙයක් අත්හදා බලන්න. ඔබ කනස්සල්ලෙන් සිටින විට ආහාර ගන්නා කෙනෙක් නම් ගීතයකට සවන් දීම, නර්තනයේ යෙදීම ,විනෝදාංශයක නිරත වීම වැනි කුමක් හෝ ක්‍රියාකාරකමක යෙදෙන්න. ඒ වගේම ඔබ වෙහෙසට පත් වී සිටිනවා නම් උණුසුම් කෝපි කෝප්පයක් රස විඳීම , ස්නානය කිරීම හෝ ඇවිදින්නට යාම සිදු කරන්න ඔබට පුළුවන්. ඔබ කම්මැලිකම නිසා ආහාර ගන්න කෙනෙක් නම් හොඳ පොතක් තෝරාගෙන කියවන්න. නැත්නම් චිත්‍රපටයක් නැරඹීම , දින පොතක් ලිවීම , කුමක් හෝ පිළිබඳව සමීක්ෂණය කිරීම වැනි ප්‍රයෝජනවත් ක්‍රියාකාරකමක යෙදෙන්නට උත්සාහ කරන්න.
ඔබේ අත්‍යවශ්‍ය ආහාර වේල් වලට අමතරව ඔබට තවත් යමක් ආහාරයට ගැනීමට සිතෙන විට 1 සිට දහයට සෙමෙන් ගණන් කරන්න. එවිට ඔබේ ආහාර ගැනීමේ ආශාව කෙමෙන් පහවී ගොස් තිබෙන්නට පුළුවන්.
ඔබ ලබා ගන්නා ප්‍රධාන ආහාර වේලට ඔබ කැමතිම සහ පෝෂ්‍යදායී ආහාර ඇතුළත් කරන්න.ඒ වගේම ඒ ආහාරවේල ලබා ගන්නා විට එය හොඳින් රස විඳින්න. එය මගින් ඔබ තෘප්තිමත් වන විට තවදුරටත් ඔබට කුසගිනි දැනීම පාලනය වන්නට පුළුවන්. කිසිම විටෙකත් ඔබ ආහාර ගන්නා විට එය කලබලයෙන් සහ ඉක්මනින් නොකිරීමට වග බලා ගැනීම මගින් ඔබ අධික ලෙස ආහාර ගැනීම වළක්වා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
ඔබ රූපවාහිනිය නැරඹීම, පොතක් කියවීම හෝ ජංගම දුරකථනයට දෑස් යොමා ගෙන ආහාර ගැනීමට පුරුදුව සිටින කෙනෙක් නම් එය එතරම් හොඳ පුරුද්දක් නොවන බව මතක තබා ගත යුතුයි.එවැනි ක්‍රියාකාරකමක නිරත වෙමින් ආහාරයට ගන්නා විට ඔබේ මනස පවතින්නේ වෙනත් තැනක නිසා ඔබ කොතරම් ආහාර ලබා ගත්තත් ඔබට තෘප්තිමත් බවක් දැනෙන්නේ නැත. ඒ වගේම එවැනි අවස්ථාවලදී ඔබ දිගටම ආහාර ගැනීමට සිදු කරනවා. ඒ නිසා සෑම විටම ඔබ ආහාර ගන්නා විට එම ආහාරය කෙරෙහි අවධානය යොමු කරමින් ආහාර ගන්න අමතක කරන්න එපා.
මෙවැනි පුංචි ටිප්ස් අත්හදා බැලීම මගින් ඔබ නිතර ආහාර ගැනීම සහ අධික ලෙස ආහාර ගැනීම මගින් ඔබේ ශරීරයට ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් බොහෝදුරට පාලනය කරගන්නට ඔබට හැකියාව තියෙනවා.
Saru FM Media