රූබන් ටේරන්ප්ලමන් ගේ විශිෂ්ට පන්දු යැවීමත්, නැමීබියානු කඩුලු රකින ක්‍රීඩක සේන් ග්‍රීන්ගේ ලකුණු 30ක නොදැවුණු ඉනිමත් හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ නැමීබියානු කණ්ඩායම අතර පැවැති පළමු සහ එකම විස්සයි-20 තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලැබීමට නැමීබියානු කණ්ඩායම සමත්විය.
නව නැමීබියානු ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කරමින්, ඔවුන්ගේ අසල්වැසි රට වන දකුණු අප්‍රිකාව සමග ඕනෑම ජාත්‍යන්තර ආකෘතියකින් පළමු වරට ක්‍රීඩා කළ තරගයද මෙය විය.
පෙරේදා (11 දා) වින්ඩ්හෝක් හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට රූබන් ටේරන්ප්ලමන් ඇතුළු නැමීබියානු පන්දු බළඇණිය හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් පමණි.
ඒ අනුව ලකුණු 135ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පැමිණි නැමීබියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 138ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
මෙහි විශේෂත්වය වන්නේ සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ශ්‍රී ලංකාවට පසුව නැමීබියාව විසින් පරාජය කරන ලද සිව්වන පූර්ණ සාමාජික රට දකුණු අප්‍රිකාව වීමය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජේසන් ස්මිත් ලකුණු 31ක්, රූබින් හාර්මන් ලකුණු 23ක් සහ ලුආන් ඩ්‍රේ ලකුණු 22ක් ලැබීය.
පන්දු යැවීමේදී රූබන් ටේරන්ප්ලමන් ලකුණු 28කට කඩුලු 3ක් සහ මැක්ස් හින්ගෝ ලකුණු 32කට කඩුලු 2ක් බිඳහෙළීය.
නැමීබියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සේන් ග්‍රීන් නොදැවී ලකුණු 30ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව ගර්හාර්ඩ් එරස්මස් ලකුණු 22ක් සහ මලාන් කූගර් ලකුණු 18ක් ලැබීය.
පන්දු යැවීමේදී නෙන්ඩ්‍රේ බුර්ගර් ලකුණු 21කට කඩුලු 2ක් සහ අන්ඩීලි සිමලේන් ලකුණු 28කට කඩුලු 2ක් දවාලීය.
තරගයේ වීරයා ලෙස රූබන් ටේරන්ප්ලමන් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්
Saru FM Media