නිවන්න වාහන 13ක් යුද්ධයක
පිරිස බේරාගන්න වීදුරු – ජනේල කඩයි
පස්වැනි මහලේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයි
පාඩුව තවම ගණනය කර නෑ
විදුලි කාන්දුවක් දැයි සැකයක්
රස පරීක්ෂකත් එයි
නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඊයේ (29දා) පෙරවරුවේ හටගත් ගින්න පැය 2ක කාලයකදී සිදුකළ අති දුෂ්කර මෙහෙයුමකින් නිවාදැමූ බව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්රධානි ඩබ්. එස්. ඒ. එන්. සේනානායක මහතා “දිවයින” ට පැවසීය.
එම නිවාස සංකීර්ණය මහල් 8 කින් සමන්විත එකක් බවත්, ගින්න එහි 5 වැනි මහලේ හටගෙන තිබූ බවත් ඒ මහතා කීය. තම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට ගින්න සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 8.45 ට පණිවිඩය ලැබුණු බවත්, ඒ අනුව ගින්න නිවා දැමීමේ මෙහෙයුම සඳහා ගිනි නිවීමේ රථ, ගිලන් රථ ඇතුළු රථ 13ක් සමග ගිනි නිවන භටයින් 40 දෙනකු පමණ සහභාගි වූ බවත් හෙතෙම කීය. එම ස්ථානයට ළඟාවීමේදී ද අපහසුතා මතු වුවත් බාධක මැඬගෙන ගොස් ගින්න නිවා දැමීමේ මෙහෙයුම ඇරඹූ බව ද ඒ මහතා කියා සිටියේය. මෙම ගින්න හේතුවෙන් එම පස්වැනි මහලේ සිරවී සිටි විදේශිකයන් දෙදෙනකු හා කාන්තාවක ස්කයිෆ්ට් වාහන භාවිතා කරමින් මුදාගෙන ඇත.
ගින්න හටගත් 5 වැනි මහලට ඉහළ මහල්වල සිරවී සිටි තවත් 10 දෙනෙකු ඉතා අපහසුවෙන් ස්කයිෆ්ට් රථයක ආධාරයෙන් පහළට රැගෙන ඔවුන්ගේ ජීවිත බේරාගෙන තිබේ.
මේ අනුව සිද්ධියට මුහුණ පෑ 13 දෙනකු බේරාගැනීමට ගිනි නිවන භටයන් කටයුතු කර ඇත.
ගින්න හට ගැනීමත් සමග පිටවීමේ දොරටු සිරවී තිබූ අතර, සිරවී සිටි පිරිස මුදාගැනීමේදී ගිනි නිවන භටයන් එම ඉහළ මහල්වල වීදුරු – ජනෙල් පවා කඩා ඔවුන්ව පිටතට ගෙන ඇත.
මෙම ගින්න හේතුවෙන් එම මහල් නිවාස සංකීර්ණය සහිත ප්රදේශයම දුමෙන් වැසී ගොස් තිබිණි.
මෙම ගින්නෙන් පස්වැනි මහලේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් තිබූ අතර, එම නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනා හා කාන්තාව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගැනුණි. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය පවසයි. ගින්නෙන් නිවාසවලට සිදුවූ දේපළ අලාභය ඊයේ සවස්වන තුරුත් තක්සේරුකර නොමැත.
ගින්න හටගෙන සුළු වේලාවක් තුළ ගිනි නිවන රථ ළඟාවී ගින්න මැඬපැවැත්වීමට කටයුතු කිරීම නිසා ජීවිත බේරාගත හැකිවූ බවද මෙහෙයුම් ප්රධානි සේනානායක මහතා පැවසීය. එසේම, හදිසියේවත් විදේශිකයන් දෙදෙනා මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කළේ නම් බරපතළ ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද ඒ මහතා කීය.
ඊයේ පෙරවරුවේ හටගත් ගින්න පෙරවරු 11.30 වනවිට මුළුමනින්ම නිවා දැමූ බවද ඒ මහතා කියා සිටියේය.
රජයේ රසපරීක්ෂකවරයා ගින්න හටගත් ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සහ නාරාහේන්පිට පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ සිදු කරති.
ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
Saru FM Media






