හිමිවරුනි, විවරවේවා නිවනේ රුවන් දොර
දේහයන් මැල්සිරිපුරට ගෙනඑද්දී මහමග දෙපස විශාල සෙනගක්
විදෙස් හිමියන්ගේ දේහයන් පිළිබඳ ගන්නා තීරණ ගැන විදෙස් අමාත්‍යාංශය සමග සාකච්ඡා
විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත්වරයාගෙන් පොලිසියට නියෝග
කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ පිහිටි කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් අපවත්වූ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ සිව්නමගේ දේහයන් පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (27දා) පස්වරු 1.30ට සිදු කිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කරයි.
එමෙන්ම එම කටයුතුවලට අදාළ සාකච්ඡාවක් පෙරේදා (25දා) රාත්‍රී 7.00ට පැවැත්විණි.
මේ අතර, මේ අනතුරින් අපවත්වූ භික්ෂුන් වහන්සේ අතර සිටින විදේශීය භික්ෂුන් වහන්සේගේ දේහයන් පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ අමාත්‍යාංශය සමග එක්ව තීරණයක් ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ඇරුන් හේමචන්ද්‍ර මහතා පැවැසීය.
එසේම උන්වහන්සේගේ දේහයන් මව් රටවල්වලට යැවීම සඳහා ඊට අදාළ පාර්ශ්ව මේ වනවිට දැනුවත් කර ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න මහතා කීය.
24 වැනිදා රාත්‍රී 9.30 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ අතර, එහිදී ඩක්කුවේ ගමන් කළ භික්ෂුන් වහන්සේ 7 නමක් අපවත්වූහ.
ඒ අනුව එම අනතුරින් පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය උඩවලවේ චන්නසුමන හිමි, පූජ්‍ය රුමේනියාවේ ධම්මරංසි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධ හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි, පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේසී හිමි යන භික්ෂුන් වහන්සේ මෙලෙස අපවත්වූහ.
බරපතළ තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 6නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, ඒ අතුරින් භික්ෂුන් වහන්සේ දෙනමකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් “දිවයින” ට පැවැසීය.
මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය මහව මහෙස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න මහත්මිය විසින් පවත්වන ලදී.
මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මෙම අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර අධිකරණයට එම කරුණු වාර්තා කරන ලෙස ද පොලිසියට නියෝග කළාය.
එමෙන්ම මෙහිදී යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
මේ අතර මෙම සංවේග ජනක සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද ශෝක පණිවුඩ නිකුත් කර තිබේ.
එසේම අමාත්‍ය විජිත හේරත් මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් ද සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුර සැලවීමත් සමග රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය දේශපාලනඥයෝ, ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියහ.
අපවත්වී වදාළ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ සිව්නමකගේ දේහයන් ඊයේ පශ්චාත් මරණ කටයුතුවලින් පසු රථ පෙරහරකින් නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත රැගෙන එන ලදී.
භික්ෂුන් වහන්සේගේ දේහයන් අවමඟුල් රථවලින් රැගෙන එද්දී මැල්සිරිපුර මඟදෙපස භික්ෂුන් වහන්සේ, පාසල් සිසු දරු දැරියන්, ජනතාව අතිවිශාල පිරිසක් එම දේහයන්ට වැඳ ගෞරව දක්වන්නට වූහ.
මේ වනවිට එම දේහයන් එම ආරණ්‍ය සේනාසනයේ සීමා මාලකයේ තැන්පත් කර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Saru FM Media