නළුවෙකුත් අරන්,පොලිස් නිල ඇඳුමින් කොල්ලයකට ගිය චූවා සමන්තගේ ගෝලයෝ රොත්ත…

0
8

මෙහෙයුම රාජ්‍ය බුද්ධි අංශයෙන් සහ එස්. ටී. එෆ් එකෙන්…

උණාකුරුවේ ශාන්තත් හවුල්…

වසර කිහිපයක සිට මෙරට සමහර පාතාල කණ්ඩායම්වල සාමාජිකයින් සිදුකරන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් විවිධ ස්වරූපයන් ගනී. එවැනි සමහර අපරාධ ආරක්ෂක අංශ පවා මවිතයට පත් කරවනසුලු ය. තවද එවැනි අපරාධ සඳහා දේශපාලන බලවතුන්, ආරක්ෂක අංශ ලොක්කන් සහ මෙරට ජනප්‍රිය පුද්ගලයන් වැනි අය ද සම්බන්ධ වේ. එයට උදාහරණ ලෙස පසුගිය වසර කිහිපය තුළ සිදු වූ සමහර අපරාධ ගත හැකිය.

දැනට විදෙස්ගතව සැඟවී සිටින ‘චූවා සමන්ත’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ උපදෙස් මත සිදු කිරීමට ගිය එවැනිම ආකාරයේ මංකොල්ලකෑම් රැසක් වළක්වා ගැනීමට ආරක්ෂක අංශ පසුගියදා සමත් වූහ.

‘චූවා සමන්ත’ තම ගෝල බාලයින්ට පොලිස් නිල ඇඳුම් අන්දවා මෙම මහා පරිමාණයේ මංකොල්ල කෑම් සිදු කිරීමට සැලසුම් කර තිබුණි. එපමණක් නොව මේ සඳහා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑ නළුවකු ද සම්බන්ධ කරගෙන තිබුණි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

දැනට සති කිහිපයකට ඉහතදී රාජ්‍ය බුද්ධි අංශයට වැදගත් තොරතුරක් ලැබුණි. ලැබුණ තොරතුරට අනුව එම නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. ඒ අනුව ඔවුන් අපරාධ කණ්ඩායමක් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කරගත්තේය. පසුව එම තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලාකායේ නිලධාරීන්ට ලබා දුන්නේය.

රාජ්‍ය බුද්ධි අංශයෙන් සහ තවත් සොයාගත් තොරතුරු මත ඔවුන් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත්තේය. ඒ කොළඹට ආසන්න ප්‍රදේශවලදීය.

එලෙස අල්ලා ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත සැප්තැම්බර් 25 දින රාගම පොලිස් වසම තුළ විශේෂ මෙහෙයුමක් සිදු කළේය. එහිදී පොලිස් නිලධාරීන් කාන්තාවක් ද අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.270ක්, හෙරොයින් ග්‍රෑම් 410ක්, පොලිස් නිල ඇඳුම් කට්ටල කිහිපයක්, ජාතික හැඳුනුම්පත් 35ක්, බැංකු පොත් 7ක් සහ ජංගම දුරකථන 4ක් සොයාගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මාර්ගයෙන් අනාවරණය වූයේ පොලිස් නිල ඇඳුම් සහ ගිනි අවි භාවිතා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය හා මුදල් මංකොල්ල ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම ජාලයේ මෙරට සිටින ප්‍රධාන සැකකරු ලෙස හඳුන්වනු ලබන්නේ “පොඩි නිශාන්ත,” ‘පොලිස් නිශාන්ත’ නමින් හඳුන්වන කේ.නිශාන්තයි. ඔහු මෙම නම්වලට අමතරව “රංජි”, “සාගර” යන නම්වලින් ද පෙනී සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්

එයට අමතරව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විශාල මුදල් ඉපැයූ අයෙකි. පසුගිය කාලයේ සිදු වූ කොල්ලකෑමේ සිද්ධි 12කට පමණ ඔහු සෘජුවම සම්බන්ධ වී තිබේ. එපමණක් නොව කඩුවෙල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඔහුව කිහිප වතාවක් අත්අඩංගුවට ගත් අවස්ථා දෙකකදීම ඔහු අත් විලංගු සමග පලා ගොස් තිබුණි.

නිශාන්ත නමැති එම සැකකරු ගෙන් ලද තොරතුරු මත නොවැම්බර් 4 දින තලංගම, මුල්ලේරියාව සහ වැලිකඩ ප්‍රදේශවලින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේය. එහිදී, ඔවුන් සතුව තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ නවයක්, අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රු. 250,000ක මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක්ද සොයා ගැනීමට හැකිවිය.

විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ටෙලිනාට්‍ය නළුවෙක් ද සිටියේය. ඔහු ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත රඟ නොපෑවත්, ජනප්‍රිය නාට්‍ය කිහිපයකම සැලකිය යුතු චරිතවලට පන පොවා තිබුණි.

සැකකාර මෙම ටෙලි නාට්‍ය නළුවා රයිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. “කළු” යන අන්වර්ථ නාමයෙන් ඔහුව හඳුන්වයි. මෙම කල්ලිය සඳහා පොලිස් නිල ඇඳුම් සපයාදී ඇත්තේ ඔහු විසින්ය.

සැකකාර මෙම ටෙලි නාට්‍ය නළුවාට පොලිස් නිල ඇඳුම් ලබාදී ඇත්තේ බණ්ඩාරගම, හොරණ සහ කහතුඩුව පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි.

සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම කණ්ඩායම සඳහා නායකත්වය ලබාදී ඇත්තේ ‘චූවා සමන්ත’ සහ තවත් විදෙස් රටක සැඟවී සිටින පාතාල කණ්ඩායම් නායකයකු වන ‘උණාකුරුවේ ශාන්ත’ යි.

මෙම කණ්ඩායම සඳහා ගිනි අවිය සහ මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ ‘චූවා සමන්ත’ විසින්ය. එපමණක් නොව මෙම කණ්ඩායම ඔහුගේ මත්ද්‍රව්‍ය විකීණිම ද කලක සිට සිදුකරගෙන ගොස් තිබුණි.

‘චූවා සමන්ත’ ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පවත්වාගෙන යන අයෙකි. දැනට දෙහිවල ප්‍රදේශය ආශ්‍රිතව ජයටම මොහු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යයි.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි ‘චූවා සමන්ත’ ප්‍රසිද්ධ මංකොල්ලකරුවකු වශයෙන්ය. එකල සුළු සුළු මංකොල්ලකෑම්වල නිරත වූ මොහු පසුව මධුෂ්ගේ පාතාල කල්ලියට සම්බන්ධ විය. ඉන්පසු මධුෂ්ගේ මත්ද්‍රව්‍ය දෙහිවල ප්‍රදේශයේ විකිණීම සිදු කළේ මොහුය. මධුෂ්ගේ ඝාතනයෙන් පසු බාසික් සමග ද මොහු සම්බන්ධතා පවත්වාගෙන ගියේය. එම කාලය අතරතුර කිහිපවරක් අත්අඩංගුවට පත් වූ මොහුට බන්ධනාගාර ගතවීමට ද සිදුවිය. පසුව ඇප ලබා පැමිණි මොහු හොර රහසේම ඩුබායි බලා පලා ගියේය.

එලෙස රට පැනගත් පසු ‘චූවා සමන්ත’ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘උණාකූරුවේ ශාන්ත’ සමග සම්බන්ධතා පවත්වා ගත්තේය. ඔහුගේ මත්ද්‍රව්‍ය දෙහිවල සහ ඒ අවට ප්‍රදේශවල ජයටම විකිණීමට පටන් ගත්තේය. එපමණක් නොව ‘උණාකූරුවේ ශාන්ත’ සමග එකතු වී ජයටම මංකොල්ලකෑම් සිදු කිරීමට පටන් ගත්තේය. මොවුන් දෙදෙනා පාකිස්තානයෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගෙන්වන මත්ද්‍රව්‍ය තමන්ගේ ගෝලයන් ලවා මුහුද මැදදී මංකොල්ලකා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව පෙන්වා විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රවටන බවට ද තොරතුරු අනාවරණය වේ.

තවද ‘චූවා සමන්ත’ තිරය පිටුපස සිට ගේම් ගැසීමට උපන් හපනෙකි. පසුගිය මාස කිහිපය තුළ ගල්කිස්ස ප්‍රදේශයේ ‘බඩෝවිට අසංක’ සහ ‘කොස් මල්ලි’ අතර ඇති වූ ගැටුම්වලදී කොස් මල්ලී යනු හුදෙක්ම ඩමියක් පමණි. ‘කොස් මල්ලි’ ලෙස පෙනී සිටිමින් සියලුම ඝාතන සිදු කළේ ‘චූවා සමන්ත’ විසින් ය. එපමණක් නොව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වූ පොලිස් නිලධාරීන්ට අවස්ථා කිහිපයකදීම ඔහු බැණ තිබුණි.

මෙවැනි අතීතයක් ඇති ‘චූවා මල්ලි’ තවමත් කිසිදු බියක් සැකක් නොමැතිව තම ගෝලබාලයින් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ ජයටම සිදුකරගෙන යයි.

මෙවර ද ‘චූවා සමන්ත’ සහ ‘උණාකුරුවේ ශාන්ත’ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් යොදවා මත්ද්‍රව්‍ය බෝට්ටුවක් කොල්ලකෑමට ද සැලසුම් කර තිබුණි.

ඔවුන්ගේ සැලසුමට අනුව මෙම සැකකරුවන්ට පොලිස් නිල ඇඳුම් අන්දවා මුහුද මැදදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහන බෝට්ටුව කොල්ලකෑමට උපදෙස් ලබාදී තිබුණි.

එයට අමතරව තවත් මංකොල්ලකෑම් කිහිපයක්ම සිදු කිරීමට ඔවුන් සැදි පැහැදී සිටියේය. එහෙත් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතා හමුවේ ඒ සියල්ල ව්‍යර්ථ විය.

තවද ආරක්ෂක අංශ වෙත කිවයුතු එක් දෙයක් තිබේ. ගෝල බාලයින් සේම විදෙස් රටවල සැඟවී සිටින ‘චූවා සමන්ත’ ලා වැනි අපරාධකරුවන් ද කෙලෙස හෝ යළි මෙරටට රැගෙන විත් නිසි දඬුවම් ලබාදිය යුතුය.

ගයාන් සමරසිංහ
Gayan982@gmail.com

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here