නව වසර සාර්ථක කර ගන්න ජීවිතේට මේ දේවල් එක් කර ගන්න.

0
12


ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක අවුරුද්දකට ලෝකයක් හැටියට මුහුණ දුන් අපි තවත් අලුත් අවුරුද්දක් බාර ගන්න ලෑස්ති වෙන මොහොතක් මේ. 2021 අවුරුද්ද අපි අලුත් විදියට බාර ගන්නේ කොහොමද? අපි මේ ගැන මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මියගෙන් අහන්න හිතුවා. මේ ඇය ඒ ගැන ඔබට පැවසු දේවල්.

ඕනෑම කෙනෙක් අලුත් බලාපොරොත්තු සහ අරමුණු ඇති කරගන්න කැමතියි. අලුත් අවුරුද්දක් කියන්නේ ඒකට හොඳම අවස්ථාවක්. 2021 ඒ අතින් සුවිශේෂී අවුරුද්දක්. හේතුව තමයි 2020 මුළු ලෝකයටම අතිශය අභියෝගයක් වූ වසරක්.සමහරු ඒ අභියෝගය සාර්ථකව ජයගත්තත් සමහරුන්ට 2020 ඉතා අර්බුදකාරී වසරක් වුණා. අපි මොන මට්ටමක හිටියත් 2021 පටන් ගන්නකොට අලුත් වෙන්න උත්සාහ කරන්න ඕනෑ.

මම සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් හඳුන්වන්නේ ජීවිතේ පොතක් නම් අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් පිටුවක් කියලා. 2021 පිටුවේ ලියන දේ අපි තවම දන්නේ නෑ.හැබැයි ඒ පොතේ හොඳ විතරක් ලියන්න අපිට උනන්දු වෙන්න පුලුවන්.ඒක තියෙන්නේ අප තුළ. සාමාන්‍ය මිනිසෙක්ගේ මනස අභියෝගයක් හමුවේ ශක්තිමත් වෙන්නත් පුලුවන්.පසුබාන්නත් පුලුවන්. අපි ස්වයං පීඩනයක් අභියෝගයක් කරගන්න ඕන දවසක් ජනවාරි පළමුවැනිදා කියන්නේ.

2021 වසරේ අපේ ජීවිතය ලියා ගන්න එක අපි අතේ තියන දෙයක්.ඒකට අනුන් බාධා කළා කියලා කණගාටු වීම තේරුමක් නෑ. ලෝකයේ සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත කතාවල තියෙන්නේ තමන් තනියම දියුණු වූ ආකාරය. අගාධවල හිර වෙලා හිටියත් පැරෂුට් වගේ ඉහළ ආපු අය ඉන්නවා.

අලුත් අවුරුද්දට වෙනස් කෙනෙක් වෙන්න තමන් තමන්ටම උත්තේජනයක් ලබා දීම වැදගත්.ඊට අමතරව පවුලේ ඉන්න අයටත් ඒක කියා දීම හොඳ දෙයක්. පවුලක් ලෙස නැගිටීම හරිම වැදගත්.ලෝකයේ අලුත් කන්සෙප්ට් එකක් තියෙනවා Family industry (පවුල් කර්මාන්ත) කියලා. ඒ කියන්නේ පවුලක් ලෙස මානසික, සමාජීය, සංස්කෘතිකමය සහ ආර්ථිකව එක්ව නැගී සිටීමයි. ගෙදර හැමෝටම ආර්ථික ස්වාධීනත්වයක් ඇති කරන එක මේ හරහා සිදු වෙනවා. එය ගෙදර වියදම් අවම කිරීමේ සිට පවුලටම කරගෙන යා හැකි කර්මාන්තයක් ඇරඹීම දක්වා කරන්න පුලුවන්. තමන්ගේ රට ඇතුළෙන් සොයා ගන්න අමුද්‍රව්‍ය වලින් කරන කර්මාන්තයක් වීමත් වැදගත්. රටේ හැම පවුලක්ම කර්මාන්තයක් සහිත පවුලක් වීමේ අභියෝගය අපිට 2021 දී අපට පටන් ගන්න පුලුවන්. පවුල එකට එකතු වෙලා එකඟතාවයක් සහිතව 2021 අරමුණු සාකච්ඡා කරලා අලුත් අවුරුද්ද අලුත් විදියට ජය ගැනීමට සැලසුම් කර ගැනීම ඉතා හොඳ දෙයක්.

අලුත් අවුරුද්ද පැහැදිලි ජීවන සැලසුමකින් පටන් ගන්න ඕනෑ.ප්‍රබල සැලසුමක් තබා ගැනීමත් එය ක්‍රියාත්මක කිරීමත් ඒ අනුව සිදු වෙන්න ඕන.ගෙයක් හැදීම, විභාගයක් සමත් කිරීම වැනි අනිත් අයටත් පෙනෙන ඉලක්කයක් මේ සඳහා තෝරා ගන්න.ඒ වගේම කාන්තාවකට පුලුවන් ගෙදර අනිත් අයටත් ඉලක්ක සහ අරමුණු හොයලා දෙන්න.දරුවන්ට අධ්‍යාපන ඉලක්ක පෙන්වා දීම, සැමියාට රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමට මෙහෙයවීම ඔබට කරන්න පුලුවන්.

ඔබට ඩයරියක් තියනවා නම් ඔබේ අරමුණ එහි මුල්ම පිටුවේ ලියන්න. සෙසු අරමුණු මාස තුනෙන් තුනට බෙදා වෙන් කරගෙන ලියන්න. ප්‍රධාන අරමුණට කොටසින් කොටස පිවිසෙන ආකාරය ලිවීම වුණත් ගැටලුවක් නැහැ.ඒත් අරමුණු බදා ගන්න එපා. නිවැරදි ඉලක්කයක් වෙත හඹා යන්න. ඒ වෙනුවෙන් සටන් කරන්න.

ඔබට vision board එකක් පවත්වාගෙන යන්නත් පුලුවන්. ගෙදර අයට වෙන වෙනම ඉලක්ක තබාගෙන එහි ඒවා සටහන් කරන්න පුලුවන්.

අනිත් කාරණය අපි 2020 ඇරඹෙද්දී අපි මෙහෙම දරුණු වසංගතයකට ලක් වෙයි කියලා හිතුවේ නෑ. බොහෝ අයට මාසික වැටුප නැතුව බොහොම කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වුණා. අන්න ඒ නිසා මේ අවුරුද්ද ඉතිරිකිරීමක් පටන් ගන්න අවුරුද්දක් කර ගන්න. එය දහස් ගණනකින් ආරම්භ කරන්න ඕනෑ නෑ. රුපියල් සියයකින් හරි පටන් ගන්න.

ඒ වගේම 2020 අවුරුද්ද ඔබට වැරදුණු තැන්, ඔබ වැරදි කළ තැන්,ඔබ හැදෙන්න ඕනෑ තැන් ගැන ආයේ ආයෙම හිතන්න.ඔබ පසුගාමි වුණු තැන් හොයා ගන්න. ඒ වෙනුවෙන් මානසික සැලසුමක් හදා ගන්න.අලුත් ඇඳුම් ගැනීම, ගෙදර තීන්ත ගෑම, කැවිලි හැදීම විතරක් අලුත් අවුරුදු වෙනුවෙන් කරලා වැඩක් නෑ. වැදගත් වෙන්නේ මේ දේවල්.ඔබ ඇතුළාන්තයෙන් අලුත් වෙන්න. බාහිර පෙනුමෙන් අලුත් වෙලා වැඩක් නැහැ. තමන් තමන්ගේ හිතට අවංක වෙන්න.

2021 අපේ මනස අලුත් කර ගන්න අවුරුද්දක් කර ගනිමු!
.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here