නව රජයේ පළමු කැබිනට් සංශෝධනයෙන් බිමල්ගෙන් වරාය ඉවතට

0
1

සිවිල් ගුවන් සේවා අනුර කරුණාතිලකට

හිටපු නියෝජ්‍ය ඇමැති සුසිල්ට ඇමැති පදවියක්

නව ඇමැති 3ක් – නි. ඇමැති 10ක් දිවුරුම් දෙති

නාගරික සංවර්ධනය බිමල් යටතට

ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන නව ඇමැතිවරයා ලෙස ඊයේ (10දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායක මහතා යටතේ මෙතෙක් පැවැති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉන් ඉවත්කර ඇති අතර එහි නව ඇමැති ලෙස අනුර කරුණාතිලක මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව කරුණාතිලක ඇමැතිවරයා මෙතෙක් දැරූ නාගරික සංවර්ධන අමාත්‍යාංශය බිමල් රත්නායක මහතා වෙත පවරා තිබේ.

එමෙන්ම ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ වෛද්‍ය සුසිල් රණසිංහ මහතා නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන නව කැබිනට් ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.

නව ඇමැති මණ්ඩල සංශෝධනයේදී කැබිනට් ඇමැතිවරු තිදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (10දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ධුරයේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන් අතර නිවාස නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කරන ටී. බී. සරත් මහතා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය. තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැතිව සිටි එරංග ගුණසේකර මහතාට නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරය හිමිවිය. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැතිව සිටි මොහොමඩ් මුනීර් මහතාට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය හිමිවිය.

මෙතෙක් කිසිදු ඇමැති ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිදු සමන් කුමාර, නිශාන්ත ජයවීර, එම්.එම්.අයි. අර්කම් හා අරවින්ද සෙනරත් යන මන්ත්‍රීවරුන් අලුතෙන්ම නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීම ද විශේෂ්‍යත්වයකි.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 22 සිට 23 දක්වා ඉහළට යන අතර නියේජ්‍ය ඇමැති ධුර ගණන 33ට නගී.

2026 අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිරීමට පියවර ගත් බව රජය සඳහන් කරයි.

ඊයේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

කැබිනට් අමාත්‍යවරු

  1. බිමල් නිරෝෂන් රත්නායක මහතා- ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
  2. අනුර කරුණාතිලක මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  3. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

  1. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
  2. ටී.බී. සරත් මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
  3. එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා -ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  4. එරංග ගුණසේකර මහතා – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  5. වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  6. අරවින්ද සෙනරත් විතාරණ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
  7. එච්.එම්. දිනිදු සමන් කුමාර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  8. යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  9. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  10. එම්.අයි.එම්. අර්කම් මහතා – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here