නව පිළිකා රෝගීන් දිනකට 100ක් – 40කට දිවි අහිමිවෙයි

0
9

දෛනිකව මෙරටින් නව පිළිකා රෝගීන් 100 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, දෛනිකව පිළිකා හේතුවෙන් මෙරට මරණ 40ක් පමණ සිදුවන බවය.

පෙබරවාරී මස 04 දිනට යෙදී ඇති ලෝක පිළිකා දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළ කළාය.

“2022 ජාතික පිළිකා ලේඛනයේ දත්තවලට අනුව, ලංකාවේ නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2021 දී පිළිකා ආශ්‍රිත මරණ, 14,986ක් වාර්තා වෙලා තියෙනවා. පිළිකා රෝගීන් වාර්තා වීම කාන්තාවන් 19,500ක් පමණ සහ පිරිමි පාර්ශ්වයෙන් 16,400ක් නව රෝගීන් විදියට වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ දිනකට අපි නව රෝගීන් 100ක් හඳුනාගන්නවා ඒ වගේම 40ක් පමණ පිළිකාව නිසා මියයනවා. 2022 වාර්තා වු රෝගීන්ගේ ප්‍රධානම පිළිකා වර්ග ගත්තොත් පිරිමි පාර්ශ්වයේ, ප්‍රධානම පිළිකාව මුඛ පිළිකාව. කාන්තාවන්ගේ ප්‍රධානම පිළිකාව ලෙස පියයුරු පිළිකාව සහ දෙවැනි ස්ථානයට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව සහ තුන්වැනි ස්ථානය මහා අන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වාර්තා වෙලා තියෙනවා.”

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය,

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරීක්ෂණ කරලා, අපිට සුබ පණිවුඩයක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒ තමා සියලුම පිළිකාවලින් 30% – 50%ක් වළක්වා ගත හැකියි කියලා. පිළිකාවක් ඇති වෙන්න හේතු ගත්තොත් හේතු වර්ග දෙකක් තියෙනවා. එකක් තමා වයස. අනිත් එක ස්ත්‍රී පුරුෂභාවය. අනිත් එක රෝගියාගේ පවුල් ඉතිහාසය සහ ජානමය තත්ත්වය. මේවා අපිට වෙනස් කරන්න පුළුවන් සාධක නෙමෙයි. ලංකාවේ දැනට වයස්ගත වෙමින් පවතින ජනගහනය වැඩියි. ඉස්සරහට මේක තවත් වැඩිවෙනවා. මේ වයස්ගත වීමත් සමඟම ජාන විකෘති වීමේ හැකියාව වැඩියි. එය නැවත නිවැරදි කරගැනීමට ශරීරයට තියෙන හැකියාව අඩුයි. ඒ වගේම පිළිකා කාරකවලට නිරාවරණය වන කාලය වැඩියි. තව එකක් තමා ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ නිසා වයස සමඟ පිළිකා ඇතිවීමේ වැඩිවීමක් තියෙනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here