ශ්‍රී ලංකාවේ බලශක්ති පාලන පද්ධතියේ අනාගතයම නැවත සකස් කළ හැකි ඉතිහාසගත නඩුවක් ලෙස සැලකෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවනු ලැබීය.
පරිසර හිතකාමී සංවර්ධන හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබල සමාජ-දේශපාලන ක්‍රියාකාරීවරයකු වන පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණේ කැදවුම්කරු සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් අදාළ පෙත්සම ගොණුකර තිබේ.
මෙම පෙත්සම මඟින් ජනතාවට තමන්ගේම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය කිරීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පිළිගන්නා ලෙස ඉල්ලා ඇත.
පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) අනුමැතිය නොලැබී ක්‍රියාත්මක කර ඇති සූර්ය බල විදුලි මිලදී ගැනීමේ ගාස්තු අඩු කිරීම් ව්‍යවස්ථානුකූල නොවන බව ප්‍රකාශ කර එම ගැසට් හා චක්‍රලේඛ අහෝසි කරන ලෙසය.
ජනතාවට තම නිවසේ හෝ ව්‍යාපාරයේ විදුලිය නිෂ්පාදනය කිරීම ව්‍යවස්ථාවෙන් ආරක්ෂිත අයිතියක්ද යන ප්‍රශ්නය මෙම පෙත්සම ඔස්සේ මතුකරන බව නීති විශ්ලේෂක මතයයි.
අදාළ පෙත්සම සාර්ථක වුවහොත්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන්ගේ කාලයේ නිකුත් කළ ගාස්තු සංශෝධන අවලංගු වන අතර විදුලි ගාස්තු තීරණය කිරීමේ ඒකම නියාමන බලය PUCSL සතු බව නැවත තහවුරු වීමට ඉඩ ඇත.
පෙත්සම අනුව, දැනට රට තුළ සූර්ය වහල මත ස්ථාපිත පද්ධති 1,700 මෙගාවොට්ට වඩා ජාතික විදුලි පද්ධතියට එක් කර ඇති අතර 100,000 කට අධික “ප්‍රොසුමර්” පිරිසක් ඒ සඳහා සම්බන්ධ වී සිටිති.
මෙය ඉන්ධන ආනයනය අවම කර විදේශ විනිමය ඉතිරි කිරීමත් සමඟ දිගුකාලීන විදුලි පිරිවැය අඩු කිරීමටද දායක වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දෙන තීන්දුව ජනතාවට වාසිදායක වුවහොත්, නවීන හා විමධ්‍යගත බලශක්ති පද්ධතියක් කරා රට වේගයෙන් ගමන් කරනු ඇතිබව මේ පිළිබඳ ආර්ථික විශේෂඥ මතය යි.
එය ආයෝජක විශ්වාසය යළි ඇති කරමින් ගෘහස්ථ හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් සූර්ය බලයට කළ ආයෝජන ආරක්ෂා කිරීමට ද හේතුවිය හැකිය.
මෙම ක්ෂේත්‍රය තුළ සේවය කරන ඉංජිනේරු, තාක්ෂණික හා ස්ථාපන සේවා ඇතුළු වෘත්තීන්හි 60,000 කට අධික පිරිසගේ රැකියා ආරක්ෂාවටද මෙම නඩුව සෘජුව සම්බන්ධ වේ.
ගාස්තු අස්ථාවරභාවය දිගටම පැවතීමෙන් එම රැකියා හා බැංකු ණය පද්ධතියටද අවදානමක් ඇතිවන බව කර්මාන්ත නියෝජිතයින් විසින් දැනටමත් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
අඩු පිරිවැයක් සහිත සූර්ය බලය අධෛර්යයට පත් කර මිල අධික ඉන්ධන මත පදනම් වූ විදුලි නිෂ්පාදනය වැඩිවීමෙන් මහජන විදුලි බිල්පත් ඉහළ යන බව පාරිභෝගික සංවිධාන විසින් පෙන්වා දී තිබේ.
මෙම නඩුව, ශ්‍රී ලංකාව 2030 වන විට සිය විදුලි අවශ්‍යතාවයේ 70%ක් පුනර්ජනනීය මූලාශ්‍රවලින් ලබා ගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමටත්, ජාත්‍යන්තර දේශගුණික බැඳීම් ඉටු කිරීමටත් තීරණාත්මක වන බව පරිසරවේදීන්ගේ අදහසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ජනතා අයිතියක් ලෙස පිළිගත්හොත්, අද දින නඩු විභාගය ශ්‍රී ලංකාවේ බලශක්ති ඉතිහාසයේ මහා හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වනු ඇත.
Saru News
















