නිශ්මං රණසිංහ මැයි 11, කොළඹ LNW:
කොළඹ තුරඟ තරග පිටියේදී පැවති රගර් තරගයේදී නිත්තවෙලදී තරම් ලකුණු ලබා ගන්නට නවසීලන්තයට නොහැකි විය.ශ්‍රී ලංකාවටත් නිත්තවෙලදි ලබා ගත් ලකුණු 10 ලබා ගන්නට නොහැකි විය.නවසීලන්ත ලකුණු පූවරුව 32 ක් සහ ශ්‍රී ලංකා ලකුණු පූවරුව 6 ක් ලෙස සමස්ත තරගයේ ලකුණු දැක්වීය.අර්ධයත් ගෙවෙන විට එම ලකුණු සටහන කියවුණේ 17 – 3 ක් ලෙස ය.
විශාල ප්‍රේක්ෂක සමූහයක් පැමිණ සිටි අතර ප්‍රවේශපත්‍ර මෙන්ම ආරාධනා පත්‍ර ද විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර තිබුණ බව දැන ගන්නට හැකි විය.අප මීට පෙර කියූ ලෙසටම මෙවරත් කියන්නට ඇත්තේ ක්‍රීඩාව ලෙස ජාතිය නියෝජනය කරන්නේ ලංකාවේ ඕනෑම දක්ෂයෙකුට පෙරට එන්නට ඇති සකස් කළ වාතාවරණයක් හරහා නොවන බවය.ඉතා සීමිත ක්‍රීඩා සමාජ කිහිපයකට සම්බන්ධව ක්‍රීඩා කිරීමෙන් මේ ප්‍රශ්නයේ දිශාව තීරණය කිරීමට තීරණය කර ඇති වත්මන් දේශපාලන පරිපාලනය නාමල්ලාට සිය පංතියේ බලය සහිත රගර් ක්‍රීඩාවක් නිර්මාණය කර ගන්නට නොහැකි වූ ඉඩ,ජනතා ආණ්ඩුව කියන ලේබලය යටතේ මේ ආණ්ඩුව විසින් ඉටු කරමින් ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ දක්වා රට පුරා කරන ලද සංචාරවලදී ඒ ඒ ක්‍රීඩා ප්‍රශ්නවලට සංවේදී වන අයුරු අපි දැක ඇත්තෙමු.වව්නියා දරුවන්ගේ කොළඹ නවාතැන් ප්‍රශ්නය ගැන මැදිහත් වූ අයුරු දුටුවෙමු.ඒ ගැන ප්‍රශංසාත්මකව ලිවෙමු.ඒත් යම් කිසි සිමාවන්ට කුරේමය,සමරවික්‍රමය බලපැම් මත යටත් කොට ඇති බවක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ රගර්මය හැසිරීම්වලින් එළියට එන්නේය.හැම රජයකම වගේ අමාත්‍යවරුන්ට වඩා බලවත් කොටස් ආණ්ඩුවල සිටිය ද,මේ ආණ්ඩුවේ ඒ බලය ඇත්තේ පැලවත්තේ කට්ට කාපු මිනිසුන්ගේ මැදිහත්වීම මත කීවද රගර් ගැටළුව ඊට වඩා ප්‍රභූත්වයේ පවතින බව ඇත්තය.
පැලවත්තට මේ ගැටළුව හසුරුවන්න දුන්නානම් එක්කෝ රගර් කියා ක්‍රීඩාවක් ඕනෑ නැති බව කිව හැකිය.එය ධනපති ක්‍රීඩාවක් බව කියන්නටද ඉඩ ඇත.එහෙත් ඔවුන් කිසිවිටෙක මේ ක්‍රීඩාව ඉහළ ධනපති පංතිය නියෝජනය කරන ක්‍රීඩා සමාජ කිහිපයක සදාකාලික ආධිපත්‍යයට යටත් කරන්නනම් එකඟ නොවන බව පැහැදිළිය.අප නිතර යෝජනා කරප පරිදි ලංකාවේ විශාල බදු සහනයක් යටතේ කුමාර පංතියේ පහසුකම් සහිත ක්‍රීඩා සමාජ කිහිපයක් සදාකාලිකව ‘ඒ‘ කාණ්ඩයේ රඳවා ගැනීම වෙනුවට බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට ඊට ඇතුළත් වෙන්නට සහ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ දස්කම් අඩු වූ විට පහතට ආ යුතුය කියන තර්කයට පැලවත්ත එකඟ වෙනවා නිසැකය.
රගර් ක්‍රීඩාවේ ස්වර්ණමය ඉතිහාසයේ එය වතු සමාජය ඇසුරේ බදුල්ල,නුවරඑලිය සහ තල්දූව වැනි ප්‍රදේශවල පොහොසත් මට්ටමට තිබී ඇත.ඒත් කොළඹට සහ මහනුවරට සීමා වී ඇති වර්ථමානය වන විට අන් ප්‍රදේශවලින් හැකිලී යමින් තිබෙන රගර් හි ක්‍රියාකාරීත්වය විසිරි පැතිරි එකක් බවට පත් කිරිම පවතින ව්‍යවස්ථාව රටට හඳුන්වා දුන් නවසීලන්ත ජාතික ජෙෆ් මැතේසන්ගේ අරමුණ වන්නට ඇත.එහෙත් මේ වන විටත් නවසීලන්තයේ විසර පැතිර සිටින රගර් දක්ෂයන් ගොනු වූ කණ්ඩායමකට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ක්‍රීඩා සමාජ අටකට සීමා වී තිබෙන වපසරියකින් උකහා ගන්න ක්‍රීඩකයින්ගෙන්ය.ඒ ක්‍රීඩා සමාජ අටෙන් බැහැරව වෙන ක්‍රීඩකයෙකුට කණ්ඩායමට එන්න නොහැකි අතර එම ක්‍රීඩා සමාජ අභිබවා යා හැකි මට්ටමට වෙනත් ක්‍රීඩා සමාජයකට දක්ෂතා දක්වා ඒ කාන්ඩයට එන්නට සහ එසේ පැමිණිමේදී බී කාණ්ඩයට පැමිණ නැවත ඉහළට පැමිණිය යුතු බවට ක්‍රමයක් ද නැත.ඒ ආධිපත්‍යය වෙනස් කිරීම වෙනුවට අලුත් ක්‍රීඩා ඇමතිවරයා ඔහුට පාලනය කළ නොහැකි බලයන් තුළ සිරව මේ වන විට එම බලය ඒ ක්‍රීඩා සමාජවලට රටේම රගර් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියද පැවරෙන ව්‍යවස්ථාවකින් ලියා දෙන්නට හදමින් සිටින්නේය.එය ජාත්‍යන්තර උවමනාවක් බවට පත් කරන ලාංකිකයෝ මෙරට ක්‍රීඩාවට කරන හානිය සම්බන්ධයෙන් දඬුවම් නොලද නිසා ජාත්‍යන්තරයට ගිය අයය.
මේ තත්ත්වය හිසේ කෙස් ගණනට (අමාත්‍යවරයාගේ නොව ලේඛකයාගේ) මේ කාරණා පැහැදිළි කළ ද අමාත්‍යවරයා සිටින්නේ අශුද්ධ බලවේගවල අත් අඩංගුවේය.ඔවුන් දෙන අදහස් අනුව මැලේසියාව පරාජය කළ විට දී මෙන්ම නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට දුන් තරගය ගැන ද අතිශොක්තියෙන් කතා කරන අමාත්‍යවරයාට ආසියාවේ අංක එකට සිටින ජපානය මේ මෑත දිනයක නියම ඕල්ඩ් බ්ලැක්ස් කණ්ඩායම ඉදිරියේ පරාජය වූ හැටි පෙන්නන්නට කිසිවෙක් නැත.
නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව දැක් වූ දක්ෂතා ඉහළ මට්ටමක තිබිණ.ඒ ගැන සතුටුය.එහෙත් මේ දක්ෂතාවලට වඩා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී තරින්ද රත්වත්ත ලැබූ උත්සාහක දිණුම වටිනාකමෙන් වැඩිය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පාළකයන් ඒ ඇත්ත දැනගෙන සිටීම වැදගත්ය.මන්ද කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායමට වඩා නවසීලන්ත ජාතික කණ්ඩායම් වර්ගීකරණයේදී නවසීලන්ත සත් සාමාජික කණ්ඩායම ඉදිරියෙන් සිටින නිසාය.
එහෙත් නවසීලන්තය ඉදිරියෙන් සිට ශ්‍රී ලංකාව හා තරග කළ බවත්,ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අප්‍රතිහත ධෛර්යෙන් ඔවුන්ට මුහුණ දී හොඳ තරගයක් ලබා දුන් බවත් සෑම ලංකිකයෙකුටම ආඩම්බර විය හැකි කාරණයක්ය.ඒවා වැරදි අශුද්ධ උපදේශකයන්ගේ මඟ පෙන්වීම මත වැරදියට අරුත් ගන්නවන්නට යාමෙන් දේශපාලකයින් මිදිය යුතුය.මන්ද තවත් ක්‍රීඩාවන් හී අය ඒ නොදන්නාකමම ප්‍රයෝජනයට ගෙන ඇමතිවරයාගේ පිටට ගෝනි නැතුව ගොඩ වෙන්නට ඉඩ ඇත.
Saru FM Media