නදිනි ඩි ක්ලාර්ක් ගේ විශිෂ්ට පිතිහරඹයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 3ක විශිෂ්ට ජයක්

0
1

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

ලකුණු 252ක අභියෝගයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිතිකරණ බළඇණියේ කඩුලු 5ක් ලකුණු 81ක් තුළ ඉන්දීය පන්දු යවන්නියන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් වුවද, කණ්ඩායම් නායිකා ලෝරා වොල්වර්ඩ්ට් ගේ නායකත්වයේ ඉනිමත් සහ නදිනි ඩි ක්ලාර්ක් ගේ නොබිඳුණු ලකුණු 84ක ඉනිමත් හේතුවෙන් 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 3ක අති විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වූවාය.

පෙරේදා (10 දා) විශාඛාපට්ටම් හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 251ක් ලබාගැනීමට සමත්වුවද, ලකුණු 252ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කාන්තාවෝ පන්දු වාර 48යි පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 253ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූවාය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ රිචා ගොෂ් පන්දු 77කට මුහුණදෙමින් හයේ පහර 4ක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 94ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව ප්‍රාතිකා රාවල් ලකුණු 37ක්, ස්නේ රනා ලකුණු 33ක්, ස්මිත්‍රි මන්දනා ලකුණු 23ක්, හර්ලින් ඩියොල් ලකුණු 13ක් සහ අමන්ජෝට් කව්‍රර් ලකුණු 13ක් ලැබීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ක්ලෝයි ටේ‍රයෝන් ලකුණු 32කට කඩුලු 3ක්, මෙරසීන් කෑප් ලකුණු 45කට කඩුලු 2ක්, නන්කුලුලිකෝ මෙලාබා ලකුණු 46කට කඩුලු 2ක් සහ නදිනි ඩි ක්ලාර්ක් ලකුණු 52කට කඩුලු 2ක් දවාලීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී අති විශිෂ්ට ඉනිමක් දියත් කළ තුන්ඉරියව් ක්‍රීඩිකා නදිනි ඩි ක්ලාර්ක් පන්දු 54කට මුහුණදෙමින් නොදැවී ලකුණු 84ක් ලබාගැනීමට සමත්වූ අතර එම ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්ව තිබිණි. ඊට අමතරව ලෝරා වොල්වර්ඩ්ට් ලකුණු 70ක් සහ ක්ලෝයි ටේ‍රයෝන් ලකුණු 49ක් ලැබීය.

පන්දු යැවීමේදී ස්නේහ් රනා ලකුණු 47කට කඩුලු 2ක් සහ ක්‍රාන්ති ගවුඩ් ලකුණු 59කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරවරිය ලෙස නදිනි ඩි ක්ලාර්ක් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here