නඩුව අවසන් වන තෙක් හරක් කටා රඳවා තබාගැනීමට ආරක්ෂක ලේකම්ගෙන් රැඳවුම් නියෝගයක් – නීතිපති උසාවියට දැනුම් දෙයි

0
6

මේ හදන්නේ ඔහු මැරෙන තුරුම ත්‍රස්ත විමර්ශන නිලධාරීන් භාරයේ තියාගන්න – විත්තිකරුගේ නීතිඥ

දවසට පැය භාගයක්වත් හිරකුටියෙන් එළියේ ඉන්න ඉඩ දෙන්න – හරක් කටා විනිසුරුගෙන් ඉල්ලයි

පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාග කොට අවසන් වනතෙක් රඳවා තබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇතැයි රජයේ අධිනීතිඥවරයා ඊයේ (08දා) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (ආ) වගන්තිය ප්‍රකාරව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොස්තා මහතා විසින් ඊයේ එකී රැඳවුම් නියෝගයට අත්සන් තබා ඇතැයි පැවසූ රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා ඒ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ද දන්වා ඇතැයි ද පැවසීය. එකී විත්තිකරු බන්ධනාගාර භාරයේ තැබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට නිගමනය කර සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට ඉඩකඩ සැලසීම සඳහා එකී රැඳවුම් නියෝගය නිකුත් කර ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට නීතිපතිවරයා විසින් මින් පෙර පවරා තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට මෙයට මාස 1 1/2කට පෙර අධිකරණයෙන් අවසර ගත් නීතිපතිවරයා එකී නඩු පැවරීමට එරෙහිව පළමු විත්තිකරු අභියාචනාධිකරණයට ගොනු කළ අභියාචනාව ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව කුමන්ත්‍රණකාරී අයුරින් ඔහුව තවදුරටත් රඳවා තබාගැනීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවත් එකී අයුක්තිසහගත ක්‍රියාදාමයට එරෙහිව ඉහළ අධිකරණයට පැමිණිලි ගොනු කරනා බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා විනිසුරුවරයාට පැවසීය.

සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව මින් පෙර ගොනුකර තිබූ නඩුව ඉල්ලා අස්කරගෙන එකී චෝදනා පත්‍රයට තවත් විත්තිකරුවන් දෙදෙනකුගේ නම් එකතු කර අලුතින් නඩුවක් පවරනු ලැබුවේ එකී කුමන්ත්‍රණය අනුව බවත් එහිදී පැවැසූ නීතිඥ ජාලිය සමරසිංහ මහතා නීතිපතිවරයා සිය පටු අභිමතය සාක්ෂාත් කරගැනීම සඳහා අධිකරණය ඉත්තෙක් කරගෙන ඇතැයි ද පැවැසීය.

රැඳවුම් භාරයේ තබාගත හැකි කාලය ඉක්ම යෑම නිසා එම විත්තිකරු ඇතුළු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට නියෝග කළ බවත් ඔහුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ භාරයෙන් ඉවත් කර බන්ධනාගාර නිලධාරීන් භාරයට පත්කිරීම සඳහා නඩුව කැඳවා තිබියදී ඊයේ එලෙස නව රැඳවුම් නියෝගයක් ඉදිරිපත් කිරීම මගින් අපේක්ෂා කරනුයේ සිය සේවාදායකයා මැරෙනතුරුම ඔවුන්ගේ භාරයේ තබා ගැනීම බවත් නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයට පැවසීය.

එම විත්තිකරු භෞතික ලෙස අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙර නඩු දිනයේදී අධිකරණය විසින් කළ නියෝගය පවා නොතැකීමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි ද නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයට පැවසීය.

මෙම නඩුවේ පළමු වැනි විත්තිකරු වන නදුන් චින්තක වික්‍රමරත්න නමැත්තා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් පරිපාලනය කළ එම චූදිතගේ බිරිඳ වූ මහවැවගේ මහේෂිකා මධුවන්ති නමැත්තිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග අනියම් සබඳතාවයක් පැවැත්වීම නිසා කෙහෙල්බද්දර පද්මේ හා එම විත්තිකරු අතර විරසකයක් පවතින බවත් ඒ අනුව ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා ඔහුව භෞතිකව අධිකරණයට ඉදිරිපත් නොකර සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඊයේ උදෑසන මෝසම් පත්‍රයක් ගොනු කරමින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නමැති විත්තිකරු සූම් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ විනිසුරුවරයා ඔහුව තවදුරටත් රැඳවුම් භාරයේ තබාගැනීමට ආරක්ෂක ලේකම්වරයා විසින් අවසර ලබාදී තිබීම නිසා එම අවසරය ලබාදුන්නේය. සෙසු විත්තිකරුවන් ලබන 24 වැනිදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ විනිසුරු සුජීව නිශ්ශංක මහතා පළමු විත්තිකරු ඇතුළු විත්තිකරුවන් පස්දෙනාවම එදිනට භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය. එහිදී සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය ඇමැතූ පළමු වැනි විත්තිකාර නදුන් චින්තක නමැත්තා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමාව පැය 24 පුරාම හතරවටින්ම වට කළ සිරමැදිරියක තබාගෙන සිටීම නිසා තමන් දැඩි ලෙස ශාරීරික හා මානසික පීඩනයකට ලක්ව ඇති බැවින් දිනකට පැය 1/2ක් හෝ ඉන් පිටතට ගෙන තබා ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටියේය. වසරකුත් මාස හයක් තිස්සේ තමන්ව රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීම නිසා සිය සෞඛ්‍ය දැඩි ලෙස පිරිහී ඇතැයි ද හෙතෙම විනිසුරුවරයාට වැඩිදුරටත් පැවසීය.

ඕනෑම විත්තිකරුවකුගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ආරක්ෂාව හා පෝෂණය පිළිබඳවත් ආරක්ෂක අංශ දැඩිව අවධානය කටයුතු කළ යුතු බව සිහිපත් කළ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඔහු සමග කතාබහ කර අවශ්‍ය උපදෙස් ලබාදී උපදෙස් ලබාගැනීම සඳහා විත්තිකරු සමග සාකච්ඡා කිරීමට ඔහුගේ නීතිඥවරයාට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට නියෝග කළේය.

සිය සේවාදායකයාට විවිධ අධිකරණ හමුවේ නඩු 20ක් පමණ පවරා ඇති බවත් ඔහු සමග සාකච්ඡා කිරීමට එක් වරකට අවසර දෙනුයේ විනාඩි 20ක් බවත් අධිකරණයට පැවැසූ නීතිඥ ජාලිය සමරසිංහ මහතා නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු කරුණු සටහන් කිරීමට අවශ්‍ය පෑනක් හෝ ලබානොදෙන තත්ත්වයක් තුළ සාධාරණ නඩු විභාගයක් ඔහුට අපේක්ෂා කළ නොහැකි බවද පැවැසීය. නීතිඥ අනුත්තරා සමරරාජ් මහත්මියගේ උපදෙස් මත නීතිඥ උදුල් ප්‍රේමරත්න, පුබුදු චන්දිම ඇතුළු නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී එකී රාජකාරි කළ නිලධාරීන්ට බලපෑම් කර ඉන් පලා යෑමට ආධාර අනුබල දීම ඒ සඳහා සැලසුම් කිරීම යනාදී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නදුන් චින්තක වික්‍රමරත්න, රවිඳු සංදීප ගුණසේකර, මද්දුමගේ දිනේෂ් තරංග, ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් හා සංජය අබේසිංහ යන පස්දෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here