පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පෙරේදා (15) මීර්පුර්හි පැවැති අවසන් එක්දින තරගයේ අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදය සඳහා බංග්ලාදේශයට වැඩි කාලයක් ලබා දුන්නේයැයි එහි කටයුතු කළ ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන වෙත පාකිස්තානය චෝදනා ගොනු කර ඇත.
මෙම තරගය බංග්ලාදේශය ලකුණු 11කින් ජයගත් අතර තරගාවලියේ ජය ද තරග 2-1ක් ලෙස සත්කාරක බංග්ලාදේශයට හිමිවුණි.
පාකිස්තාන පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුව වන විට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා පන්දු 2කදී ලකුණු 12ක් අවැසිව තිබුණු අතර, 5 වැනි පන්දුව සීමාවෙන් ඉවත ගිය පන්දුවක් බවට විනිසුරු ධර්මසේන සංඥා කළේය.
අනතුරුව එය කඩුල්ල මුවා කිරීමක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම කළ ඉල්ලීම විනිසුරු තීරණ නැවත සලකා බැලීම යටතේ තෙවැනි විනිසුරු වෙත ගෙන යාමට බංග්ලාදේශ නායකයාට අවශ්‍ය විය. අනතුරුව එය පාදයේ යම් ආකාරයකින් ස්පර්ශ වීමක් සිදුවන බව දර්ශනය වීමෙන් එය නීත්‍යානුකූල පන්දුවක් බවට පත් වුණි.
එහිදී විනිසුරු ධර්මසේන විසින් බංග්ලාදේශයට හිමි තත්පර 15ක කාලය ඉකුත් වීමෙන් අනතුරුව එය තෙවැනි විනිසුරු වෙත යොමු කළේයැයි පාකිස්තානය තරග තීරකවරයා වෙත දැනුම් දී ඇත.
ඒ අනුව බංග්ලාදේශය විනිසුරු මත නැවත සලකා බැලීම සිදු කළේ පුළුල් තිරයේ පන්දුව නැවත දර්ශනය වීම දැකීමෙන් පසුව පමණක් බවත්, එය නැවත දර්ශනය වීමට පෙර තමන්ට තීරණය නැවත විමසීමට අවැසිනම් එය සිදු කළ යුතු බව පාකිස්තානයේ මතය වී තිබේ.
එසේ නොවී නම් එය විනිසුරු තීරණ නැවත විමසීමේ කාර්ය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් ඔවුන් සිය චෝදනාවෙන් ඉදිරිපත් කර ඇත.
Saru News
















