දොස්තර පොල්ල කෝටි 115ක්

0
2

විවිධ අරමුණු වෙනුවෙන් විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 705 දෙනකුගෙන් ගිවිසුම් කඩකිරීම හේතුවෙන් අයවිය යුතු රුපියල් එකසිය පහළොස් කෝටි හැටපන්ලක්ෂ හැටදෙදහස් එකසියදහනවයක බැඳුම්කර මුදල් හා දඩ මුදල් අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මස 31 වැනිදා වන විට වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 204 දෙනකුගෙන් අය කර ගැනීමට ඇති බැඳුම්කර හා දඩ මුදල රුපියල් හැටනවකෝටි පනස් දෙලක්ෂ විසිපන්දහස් දෙසිය නවයකි.

වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරින් 480 දෙනකුගෙන් අයවිය යුතු මුදල හතලිස් හතරකෝටි හතලිස් දෙලක්ෂ අසූ අටදහස් දෙසිය හැට අටකි. වැටුප් සහිත සහ වැටුප් රහිත යන නිවාඩු වර්ග දෙකම ලබාගත් වෛද්‍ය නිලධාරින් 08 දෙනකුගෙන් බැඳුම්කර හා දඩ මුදල වශයෙන් රුපියල් හැටදෙලක්ෂ පනස්තුන්දහස් නවසියහතලිස් එකක මුදලක් (6,253,941) අය වීමට ඇති අතර වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත් කාලත්‍රයා සමග විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරීන් 13 දෙනකුගෙන් රුපියල් එක්කෝටි හත්ලක්ෂ අනූහතරදහස් හත්සියඑකක මුදලක් (10,794,701) අය වීමට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සඳහා සහ විදේශීය රැකියා මෙන්ම අනෙකුත් හේතු මත විදේශගත වන වෛද්‍ය නිලධාරින් සේවයෙන් ඉවත්ව යෑමේ, සේවය අත්හැර යෑමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙම වෛද්‍ය නිලධාරීන් රජයට ගෙවිය යුතු ඇප මුදල් හා දඩමුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here