දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තවලට එල්ල වී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු මෙන්ම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.
සෙස් බද්ද, දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පවතින මානව සම්පත් හිඟය මෙන්ම අනීතික ලෙස මෙරටට පැමිණෙන භාණ්ඩ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් ව තිබේ.
ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ දේශීය වෙළෙඳපොළට පැමිණීම සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු විසඳා ගැනීමට අදාළ ආයතන සමඟ ඒකාබද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
බහාලුම් නිදහස් කර ගැනීම සහ එහිදී ඇති වන අකාර්යක්ෂමතාව මඟහරවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර, අදාළ අංශ සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Saru News
















